විමර්ශනයක් යද්දී, විශාඛා විදුහල්පතිනියට සේවා දිගුවක් – නීතිමය පියවර ගන්නවා – ස්ටාලින්

කොළඹ විශාඛා විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළට මහත්මියට සේවා දිගුවක් ලබා දීමට පියවර ගතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සටහන් වෙත පැවසීය.

විශාඛා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කිරීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් පවත්වමින් සිටින බවත් එසේ තිබියදී ඇයට තවදුරටත් සේවා දිගුවක් ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.

එසේ සේවා දිගුවක් ලබා දුන්නහොත් තම සංගමය අදාල ක්‍රියාවට නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.

මෙම සේවා දිගුවට අදාලව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරෙන්නේද අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව බවට තම සංගමයට  තොරතුරු ලැබී ඇති බවත් මෙලෙස විදුහල්පතිනියට සේවා දිගුවක් ලබා දීම බරපතළ නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් අදාල විදුහල්පතිනිය විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ නොවැම්බර් 16 බවත්  ඒ වෙනුවෙන් සමුගැනීමේ සාදයක්ද පාසලේදී නොවැම්බර් 15 දින පවත්වා ඇත. තමන් විශ්‍රාම යන නමුත් යළි අවස්ථාවක් ලැබුණහොත් තනතුර භාර ගන්නා බව එහිදී විදුහල්පතිනිය ප්‍රකශ කර ඇත.