බෝම්බයක් ගහනවාද? හමුදා, පොලිස් මාර්ගබාධක ගැන ප්‍රශ්නයක්! කථානායක මාතෘකාව යට ගසයි

‘ජන බලවේගය කොළඹට’ යන තේමාවෙන් කොළඹදී උද්ඝෝෂණ රැළියක් පැවැත්වීමට නියමිතව තිබුණු නොවැම්බර් 16 වැනිදා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොළඹට එන පාරවල් හමුදාවෙන් සහ පොලීසියෙන් මාර්ග බාධක යොදා වසා දමා ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතාවක් කරමින් කීවේ උද්ඝෝෂණවලට එන අය නවත්වමින්, අයිඩෙන්ටි අංක ලියා ගනිමින් මර්දනය කරන ස්වභාවය. මෙය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පෙන්වමින් ඔහු කතා කළා. මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා ගිය හැටි සිහිපත් කරමිනුයි ඔහු කතා කළේ. අයිඩෙන්ටි අංක ලිවීම ‘බොරුවක්’ බව ඔහු කතා කරද්දී ආණ්ඩුව පැත්තෙන් කෑගැසීමක් ඇසුණා. එහෙත්, මේ වෙද්දී වීඩියෝ සාක්ෂි පවා සමාජ මාධ්‍යවලින් ප්‍රසිද්ධ වී හමාරයි. විපක්ෂය කියන මර්දනය රටම දකින ඇත්තක්. එය යටගැසීම නිර්ලජ්ජිත, නිසරු උත්සාහයක් පමණයි.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකරගෙන් විමසා තිබුණේ ‘අද බෝම්බයක් ගහන මොකක්හරි තියෙනවාද?’ යනුවෙන්. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විමසා තිබුණේ හල්දුම්මුල්ලේ ඇති මුරපොලකින් බදුල්ලේ සිට එන මාර්ගය වසා ඇති බවත්, යම්කිසි අනතුරක් තියෙනවාද යන්නත්.

මේ අතර අම්පාර වඩිනාගල ප්‍රදේශයේදී කොළඹ පවතින උද්ඝෝෂණය වෙනුවෙන් ආපු බස් රියක් නවත්වා, මුහුණු ආවරණයක්වත් නැති පොලිස් නිලධාරීන් ඒ බස් රිය හරවා යැවීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍යවල සැරිසරනවා.

කෙසේ වෙතත් මෙයට පිළිතුරු නොදී පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මඟහැරියා. මේ ගැන කතා කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන බාධා කළා. ස්ථාවර නියෝග අනුව මෙවැනි කාලීන හදිසි මාතෘකාවක් කතා කිරීමේ හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වාදුන් නමුත්, කථානායකවරයා එයට ඉඩ දුන්නේ නැහැ.

විපක්ෂ නායකවරයා තත්වය පහදමින් කළ කතාවටද කථානායකවරයා බාධා කරමින්, ‘දවසේ න්‍යායපත්‍රයට’ යොමු වී කතාව යට ගසන්නට උත්සාහ කළා.