අජිත් රෝහණ හා ළමාරක්ෂක සේවක සංගමය ගැටේ..

ධාරා වික්‍රමසිංහ

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමය අතර මතභේදයක් නිර්මාණය වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘සටහන් රේඩියෝව’ ට වාර්තා වේ.

විමර්ශන කටයුතුවලදී වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක පිහිටුවීම හා ඒවා සක්‍රීය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළ කළ අදහසක් මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි කියැවේ.

එම ඒකක පිහිටුවා සක්‍රීය කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය මාස හයක් ඇතුළත කටයුතු නොකරන්නේ නම් තමා දරන පොලිස් තනතුරේ බලතල ප්‍රකාරව ක්‍රියා කරනා බවට අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇති අතර එමගින් අනියම් ලෙස අධිකාරියේ සේවකයන් වෙත කරන තර්ජනයක් යැයි සේවක සංගමය පවසයි.

මෙම තත්ත්වයට හිටපු සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී ඇතැයි චෝදනා කරන සේවක සංගමය සේවකයන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන්නැයි ඉල්ලමින් කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට ලිපියක් ද යොමුකර ඇත.