රොජර්, පියසිරි, වීරකුමාර්ලාට වරෙන්තු! විමල්ලා බේරිලා! පව්, විමල්ගේ අනාගතේ පාදන්න බෙල්ල දීපු මිනිස්සු

වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ව  අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 15 වන දින වරෙන්තු නිකුත් කරලා. මේකේ පොඩි ලස්සන කතාවකුත් තියෙනවා.

අදාල පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ, විත්තිකරුවන් ලෙස නම් කර හිටපු විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන් වූ මේ පිරිස අධිකරණයට ඇවිල්ලා නෑ. විත්තිකරුවන් විදියට හිටපු ජාතික නිදහස් පෙරමුණේම විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර කියන අයත් ඇවිල්ලා හිටියේ නෑ. ඒත්, ඒ දෙන්නා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් නොඑන්න හේතු දක්වලා තිබුණා.

ඒ පක්ෂයේ මොහොමඩ් මුසම්මිල් විතරක් ඇවිත් හිටියා. ඒ නිසයි වරෙන්තු. සාමාන්‍යයෙන් මෙවැනි වරෙන්තු ලොකු අපරාධයකට වරදකරුවන් වීමක් නිසා නෙවෙයි. ඒ අයට ලෙහෙසියෙන්ම බාර වෙලා, අධිකරණයේ පෙනී ඉඳලා ඇප ලබා ගන්න පුළුවන්.

අද මේ ආණ්ඩුව වෙනුවෙන් උද්ඝෝෂණ මර්දනය කරන්න යන අයට මේ සිද්ධිය ටිකක් වැදගත් එකක්. මේ කියන වරෙන්තු නිකුත් කිරීම සිද්ධ වුණේ 2016 නොවැම්බර් 25 වැනිදා එකල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට ආපු වෙලාවේ ඒකට විරුද්ධව ජාතික නිදහස් පෙරමුණේ නායකයන් උද්ඝෝෂණයක් කිරීමට අදාල නඩුව කැඳවද්දී. මේ කියන උද්ඝෝෂණය නිසා තුම්මුල්ල අවහිර වුණා. එතකොට මහජන පීඩාවන් ඇති වුණා කියලා එදා ආණ්ඩුව යටතේ පොලීසිය නඩු පවරන බව කිව්වා. උඩින් නම් සඳහන් කරපු ඒ පෙරමුණේ නායකයන් 08 දෙනෙක්ව තමයි ඊට පස්සේ උසාවියට කැඳෙව්වේ.

මේකේ පේන්න තියෙන ලස්සන කතාව මේකයි.

මේ හැමෝම 2016 දී උද්ඝෝෂණය කරද්දී විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන්. ඒත්, මේ වෙද්දී ඒ පක්ෂයෙන් ඈත් වූ අය. වීරකුමාර් දිසානායක දැන් ශ්‍රීලනිපයේ. පියසිරි විජේනායක විමල් වීරවංශ තමන්ගේ පක්ෂය අවභාවිත කරන බව චෝදනා කරමින් ඉවත් වුණා.

ඒ හැරුණාම මේ නඩුවේ විත්තිකරුවන් වූ, අදටත් ජාතික නිදහස් පෙරමුණේ ඉන්න විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර වෙනුවෙන් නීතිඥවරුන් ඇවිල්ලා හිටියානේ. විවිධ හේතු කියලා විමල්ලාට අධිකරණයට එන්න බැරි වූ හේතු ඉදිරිපත් කළානේ.

සාමාන්‍යයෙන් ඔය වගේ අධිකරණයට එන්න කීවාම, හරියට පණිවිඩේ ලැබුණොත් නීතිඥයෙක් යවලා ඉදිරිපත් වෙන්න බැරි නම් හේතු ඉදිරිපත් කිරීම සාමාන්‍ය දෙයක්. ඒත්, පේන විදියට රොජර්, පියසිරි සහ වීරකුමාර් කියන අය දැන් පක්ෂයේ නැති නිසා නඩුව ගැන පණිවිඩය නොලැබුණා වෙන්නත් පුළුවන්.

ඔය විදියට ජාතික නිදහස් පෙරමුණේ එදා උද්ඝෝෂණ සංවිධානය කරපු මේ නායකයන්, අද පක්ෂයත් එක්ක සම්බන්ධයක් නැතිකම නිසා නඩුව මඟහැරුණා වෙන්න ඇති. මේ ගොඩක් නායකයන් ජාතික නිදහස් පෙරමුණ අත්හැරලා ගියේ විවිධ හේතු මත වුණත්, ඒ හැමෝගේම වෙන්වීම පසුපස සාරය තමයි ඔවුන් විශ්වාස කරපු දේශපාලනය වෙනුවට විමල් වීරවංශ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය හදාගන්නට ඒ පක්ෂය පාවිච්චි කරපු බව චෝදනා කිරීම. විමල් වෙනුවෙන් පමණක් වූ පක්ෂයක් නිසා එවැනි නායකයන්ට ජාතික නිදහස් පෙරමුණ ඇතුළේ අනාගතයක් නැති බව පෙනී යෑම.

නමක් තිබුණ නායකයන් ගොඩක් කාලෙන් කාලෙට ඔය පක්ෂය අත්හැර ගියා.

කොහොම නමුත් මේක උද්ඝෝෂණවලට විරුද්ධ වෙන අයටත් වැදගත් කතාවක්. උද්ඝෝෂණ කිරීම මහජන අයිතියක්. ඒත්, අපේ රටේ උද්ඝෝෂණවලට මහජන පීඩාවන් ඇති කළා කියමින් නඩු පැවරීමත්, රස්තියාදු කිරීමත් සාමාන්‍ය දෙයක්. විමල් වීරවංශලාට නම් විවිධ හේතු කියා බේරෙන්න පුළුවන්. නීතිඥයන් දාන්න පුළුවන්. සාමාන්‍ය මිනිසුන් තමයි රස්තියාදු වෙන්නේ.