මහජන විරෝධයට අත නොතබනු – ස.ජ.බ

ධාරා වික්‍රමසිංහ 

සමගි ජනබලවේගයේ විරෝධතාව මර්දනයට සැරසෙන ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය පැවැත්වූවේ කවර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේදැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කොළඹදී අද(15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කළේය. 

මහජනයාගේ පීඩනය ප්‍රකාශයට බාධා පමුණුවන්නේ නම් ජනාධිපතිවරයා කඨින පිංකම් පවත්වන ආකාරයත් එන්නත් නොකළ සිසු දරුවන් පාසල් ගෙන්වන ආකාරයත් එක්සත් ජාතික පක්ෂය ලිප්ටන් වටරවුමේ රැස්වීම් පවත්වන ආකාරයත් ආණ්ඩුවෙන් පැහැදිලි කළ යුතු යැයි ද මරික්කාර් මහතා කීය.

කිසිදු ආණ්ඩුවක් සදාකල් බලයේ සිටින්නේ නැතැයි ද ඒ නිසා දේශපාලකයන්ගේ හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ දේශපාලන වුවමනා එපාකම් අනුව කටයුතු නොකරන්නැයි සමස්ත පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී පැවැසීය.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොවිඞ් මාර්ගෝපදේශ සංග්‍රහයට මුවා වී සමගි ජනබලවේගයේ විරෝධතාව කඩාකප්පල් කිරීමේ වෑයමක නිරතවන්නේ යැයි ද සෞඛ්‍ය මාර්ගෝපදේශ දේශපාලනීකරණයට ඉඩ නොතබා මහජන විරෝධය නිසැකවම දියත්කරන්නේ යැයි ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සමගි ජනබලවේගය ආණ්ඩුවේ මහජන පීඩාකාරීත්වයට එරෙහිව හෙට(16) පවත්වන් මහජන විරෝධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනි.