රාජ්‍ය සේවකයන්ට අපහාස කළැයි විපක්ෂ නායක කිපෙයි..

ධාරා වික්‍රමසිංහ 

රාජ්‍ය සේවය උසුලන්න බැරි තරම් රටට බරක් බවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය රාජ්‍ය සේවකයන්ට කළ අපහාසයක් යැයි ද එය පිළිකුලෙන් හෙලාදකින්නේ යැයි ද කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

රාජ්‍ය සේවය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර ඊට පසුදිනම මෙවැන්නක් පැවැසීමෙන් ආණ්ඩුව සිය අයවැය යෝජනාවලිය විහි`ඵසහගත එකක් බව ඔප්පු කර ඇතැයි එහි සඳහන් වේ.

කොරෝනා ඇතු`ඵ ව්‍යසනකාරී තත්ත්වය තුළ දී රාජ්‍ය සේවයේ ප්‍රශංසනාත්මක සහ අනභිබවනීය මැදිහත්වීම ව්‍යසනය අවසන් වන්නටත් පෙර මතක කළ ආණ්ඩුව ඔවුන් රටට බරක් සේ සැලකීම අවස්ථාවාදීකමකැයි ද විපක්ෂ නායකවරයා කියයි.

සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රධාන පොරොන්දුවක් මත රාජ්‍ය සේවයට අලුතින් ලක්ෂයක් ද ඊට අමතරව උපාධිධාරීහු පනස්දහසක් ද බඳවාගැනීමෙන් රාජ්‍ය බදු ආදායමෙන් වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් ගෙවන පංගුව විශාල ලෙස වැඩි වී යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 කිරීමෙන් මෙම සැලසුම්විරහිතභාවය තවත් නරක අතට හැරෙනු ඇතැයි ද කිසිදු සැලසුම්සහගත වැඩපිළිවෙලක් නොමැතිව හිතු මනාපයට රාජ්‍ය ආයතනවලට බඳවාගැනීම් කළේ කවුරුන්දැයි රටම දන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුව ද ආර්ථික විද්‍යාඥයන් කලක සිට චෝදනා කරන්නේ ලංකාවේ රාජ්‍ය සේවය සීමාමායිමක් නොමැතිව ප්‍රසාරණයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන කඳවුරු දෙකම වගකිව යුතු බවය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ රාජ්‍ය සේවයට මහා පරිමාණයෙන් බඳවාගැනීම් සිදු වූ අතර යහපාලන ආණ්ඩුව ද ඒ සම්බන්ධයෙන් සංයුක්ත වැඩපිළිවෙලක් සකස් කළේ නැත.

ආර්ථික විද්‍යාඥයන් චෝදනා කරන්නේ රටේ ආර්ථිකයේ එන්ජිම බවට පෞද්ගලික අංශය පත්ව තිබියදී රාජ්‍ය යන විශේෂණයට මුවා වී වැඩි වරප්‍රසාද හා අවස්ථා රාජ්‍ය අංශයට ලබාදීම යුක්තිසහගත නොවන දේශපාලනික පියවරක් බවයි.