සාමය සඳහා වූ අඛණ්ඩ උත්සාහයක් ගැටලුවට විසඳුමයි.. -1996.07.01 – 

කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි -1996.07.01 – මාතොට

දැනට ක්‍රියාත්මක වෙමින් පවත්නා යුද්ධය පිටුපස සාධක කිහිපයක් දක්නට ලැබේ. එනම් පළමුව ලාංකීය රාජ්‍යයේ අධිකාරී බලය යටතේ පැවතුණු භූමි ප්‍රදේශයෙන් යම්කිසි නිශ්චිත කොටසක් එකී අධිකාරී බලයෙන් ඉවත්ව ඇති හෙයින් එසේ ඉවත්ව ඇති භූමි ප්‍රදේශය නැවතත් ස්වකීය අධිකාරී බලය යටතට ගැනීමට රාජ්‍යට අවශ්‍යව ඇත. දෙවනුව රාජ්‍යට ජනතාව මත බලපෑම් කිරීමට ඇති හැකියාව (රාජ්‍යයේ ස්වෛරී බලය) යම් ජනකොට්ඨාසයක් විසින් ප්‍රශ්න කරනු ලැබ එසේ බලපෑම් කිරීමට රාජ්‍ය සතු අයිතිය ප්‍රතික්ෂේප කර තිබේ. මෙකී රාජ්‍යයේ බලපෑමේ අයිතිය ඔවුන් ප්‍රතික්ෂේ කරන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ නොවීම මෙහිදී වැදගත් වේ. එසේ ප්‍රතික්ෂේප කිරීම සිදුවන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ දී නම්, ඒ ප්‍රතික්ෂේප කිරීම මැඩපැවැත්වීම සඳහා වූ නෛතික ක්‍රියාදාමයක් රජයට තිබේ. නිදසුනක් ලෙස දක්වතොත් යම් පුද්ගලයකු ලංකාවේ නීතිය ප්‍රතික්ෂේප කළහොත් රාජ්‍ය යන්ත්‍රණය විසින් පමුණුවනු ලබන දඬුවමකට යටත්වීමෙන්, එකී ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ වන්දි ගෙවීමට ඒ පුද්ගලයාට සිදුවනු ඇත.

සන්නද්ධ බලයට ප්‍රතිසන්නද්ධ බලයක්

රාජ්‍ය, තම ස්වෛරී බලය (ජනකොටස් මත බලපාන්නට රජය සතු හැකියාව ස්වෛරී බලය යනුවෙන් හැඳින්වේ) ක්‍රියාවේ යෙදවීම සඳහා යොදාගන්නා අවසාන බලය වන්නේ සන්නද්ධ (මිලිටරි බලය) ශක්තියයි. සාමාන්‍ය නීතිය යටතේදී ඒ මිලිටරි බලය පාවිච්චි කිරීමට අවසර ලැබෙන එකම තැනැත්තා වන්නේත් රාජ්‍යයි. වෙනත් පුද්ගලයකු හෝ ආයතනයක් එකී මිලිටරි බලය ලබාගන්නට අදහස් කරන්නේ නම්, ඔහුට හෝ ඒ ආයතනයට එය කළ හැකි වන්නේ රාජ්‍යයෙන් ලබාගන්න අවසරයක් අනුවයි. (නිදසුනක් ලෙස දක්වන්නේ නම් යම්කිසි පුද්ගලයකුට තුවක්කුවක් පාවිච්චි කරන්නට අවශ්‍ය නම් ඔහු ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු වේ) නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවිධානාත්මක පිරිසක් විසින්, රාජ්‍යයේ මේ සන්නද්ධ (මිලිටරි) බලය ප්‍රශ්න කර එය ක්‍රියාවේ යෙදවිය නොහැකි තත්ත්වයක් ඇතිකර තිබේ. ඔවුන් එසේ කර ඇත්තේ ප්‍රතිසන්නද්ධ බලයක් ද සහිතව වන හෙයින් සාමාන්‍ය පුරවැසියකුට දඬුවම් කරන්නාක් මෙන් ඔවුනට දඬුවම් පැමිණවීමට රාජ්‍යට හැකියාවක් නැත. එබැවින් රාජ්‍යයේ අහිමිව ගිය ස්වෛරී බලය යළි තහවුරු කළහැක්කේ අර මුලින් කී පිරිසගේ සන්නද්ධ ශක්තිය විනාශ කිරීම මගිනි.

යුද්ධයේ දෙවන අර්ථය වන්නේ මෙකී ස්වෛරී බලය තහවුරු කරගැනීමේ හා ප්‍රතිසන්නද්ධ ශක්තිය මැඩලීමේ අවශ්‍යතාවයයි. රාජ්‍යයේ ස්වෛරීභාවය ක්‍රියාත්මක කළ නොහැකි වූ විට රාජ්‍යයේ එදිනෙදා ක්‍රියාකාරිත්වය (Function) අඩපණ වේ. නිදසුනක් වශයෙන් ගත්කළ ස්වෛරීභාවය අහිමි ප්‍රදේශවල බදු මුදල් අයකිරීමට හෝ, ඒ ප්‍රදේශය තුළ රාජ්‍යයේ සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යා නොහැකිවීමෙන් රාජ්‍යයේ එදිනෙදා ක්‍රියාකාරිත්වය බිඳවැටේ.

දෙමළ ජනතාව බැහැර කිරීම

වර්තමාන රාජ්‍ය හඳුන්වන පොදු වචනය වන්නේ ජාතික රාජ්‍ය යන්නයි. ලොව ඕනෑම රාජ්‍යක් යම්කිසි ජාතික අනන්‍යතාවයක් පදන් කරගනිමින් ගොඩනැගී තිබේ. එංගලන්තයේ රාජ්‍ය ඉංග්‍රීසි ජාතික රාජ්‍යක් බවට පත්ව ඇත්තේ මේ ජාතික අනන්‍යතාව පදනම් කරගැනීමේ හේතුවෙනි. නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්බන්ධයෙන් සලකා බලන කල එය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ ලාංකීය රාජ්‍යක් වශයෙන් වුවද, ප්‍රායෝගික සත්‍ය නම් එය ක්‍රියාකාරිත්වයේදී සිංහල බෞද්ධ රාජ්‍යක් ව ඇති බවයි. මේ සිංහල බෞද්ධ අනන්‍යතාව පදනම් කරගත් රාජ්‍ය ගොඩනැගීමේදී (state building) ශ්‍රී ලංකාවේ ජීවත්වන සිංහල බෞද්ධ නොවන ජන කොටස් රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයෙන් බැහැර කිරීමක් සිදු වී තිබේ.  

රාජ්‍ය ගොඩනැගීමේද බැහැර කරන ලද එකම ජන කොටස දෙමළ ජනතාව නොවේ. නිදසුනක් ලෙස වැද්දන් ලෙසින් හඳුනාගන්නා ලද ජන කොට්ඨාසයට රාජ්‍ය ගොඩනැගීමේදී කාර්යභාරයක් (Role) නැත. දරිද්‍රතාවයේ පහළ කොටස්වලට ද ඔවුන්ට ඡන්ද බලය තිබුණා වුවද රාජ්‍ය ගොඩනැගීමේදී කර්යභාරයක් නැත. නමුත් එකී බැහැර කිරීම පෙරලා ප්‍රශ්න කරන්නේ දෙමළ ජනතාව පමණි. දෙමළ ජනතාවට ඒ බැහැර කිරීම පෙරලා ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යාත්මක, සංඛ්‍යාත්මක හා දේශපාලනික ශක්තිය ඇති නිසා ඔවුන් ඒ බැහැර කිරීමට එරෙහිව සටන් කරමින් සිටියා වුවද වැදි ජනයාට හා දරිද්‍රතාවයේ පහළ කොටස්වලට ඊට අවශ්‍ය ද්‍රව්‍යාත්මක, සංඛ්‍යාත්මක හා දේශපාලන ශක්තිය නැත.

අද අප ජනවාර්ගික ප්‍රශ්නයේ විකාශය ලෙසින් හඳුනාගන්නේ රාජ්‍ය ගොඩනැගීමේදී දෙමළ ජනතාව බැහැර කළ ආකාරයත් ඔවුන් එකී බැහැර කිරීමට එරෙහිව දැක් වූ ප්‍රතිචාරයත්ය. නමසිය හතළිස් ගණන්වලින් පසුව උතුරු නැගෙනහිරින් පැමිණි කවර හෝ නියෝජිතයකු කැබිනට් මණ්ඩලයේ හෝ රාජ්‍යයේ වෙනත් ඉහළ ආයතනවල නියෝජනය නොවීමත් 1983 න් පසුව ඔවුන් පාර්ලිමේන්තුවෙන් පවා නෙරපා හැරීමත් එසේ බැහැර කිරීමේ ක්‍රියාදාමය ඔප්පු කැරෙන කදිම නිදසුන් දෙකකි.

ක්‍රිස්තියානි ලබ්ධිකයන් ඇතු`ඵ බැහැර කිරීමට ලක් වූ අනෙකුත් ජන කොටස්, ඒ බැහැර කිරීම සාවධානව දරාගන්නා අතර, දෙමළ ජනතාව සිංහල අනන්‍යතාවයෙන් යුතු රාජ්‍යට එරෙහිව ප්‍රතිඅනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සමත් වෙති. ඒ සඳහා අවශ්‍ය ඉතිහාසය ( සිංහල අනන්‍යතාවය ප්‍රකාශ වන විජය පෙළපත වැනි මිථ්‍යාවන් දෙමළ ඉතිහාසයේ ද මොනවට තිබේ) සංස්කෘතිය වැනි, ජාතියක් ගොඩනගාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා සන්දර්භයන් ද දෙමළ ජනතාව සතුවීම ඔවුන්ගේ මේ ප්‍රතිඅනන්‍යතාව ගොඩනගාගැනීමේ කර්තව්‍ය පහසු කිරීමට උපකාරී වේ. මේ වාසිදායක තත්ත්ව ප්‍රයෝජනයට ගනිමින් දෙමළ ජනතාව (යටත්විජිත රාජ්‍යයේ මැදිහත්වීමට ප්‍රතිපක්ෂව සිංහල රාජ්‍ය ගොඩනැගුණා සේම) සිංහල බෞද්ධ රාජ්‍යයෙන් දෙමළ ජාතිය බැහැර කිරීමට හා ඔවුන් දෙවැනි පංතියේ ජනකොටසක් බවට පත්කිරීමට එරෙහිව මැදිහත්වීමක් සිදුකරයි. එය දෙමළ ජනතාවගේ ජාතික විමුක්ති අරගලයයි. (ජාතික විමුක්ති අරගලයක් යනු යම් ජාතියකට රාජ්‍යක් ගොඩනගාගැනීම සඳහා කරන්නා වූ අරගලයයි)

ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආයතනගත වූ රාජ්‍යක් තිබෙන නිසාත් ඒ ආයතනගත වූ රාජ්‍ය වර්ග සැතපුම් 25 332 ක භූමිය සිය රාජ්‍යයේ භූමි ප්‍රදේශය ලෙස පිළිගැනීමත් තවත් පැත්තකින් තවත් ජාතියක්, ජාතියක් වශයෙන් සංවිධානය වී එ වර්ග සැතපුම් 25 332 ක භූමිය තුළම තමන්ගේ රාජ්‍යක් ගොඩනගාගැනීමට කටයුතු කිරීමත් සිංහල බෞද්ධ රාජ්‍ය, එකී භූමි ප්‍රදේශය සිය අණසක තුළ රඳවා ගැනීමට උත්සාහ කිරීමත් නිසා පරස්පර අභිලාශයන් අතර ආතතියක් (Tensions) ඇතිවීමේ හේතුවෙන් මේ ප්‍රශ්නය දේශපාලන ගැටලුවක් බවට පත්ව තිබේ. 

දේශපාලන ගැටලුව විසඳාගන්නේ කෙසේද?

මේ දේශපාලන ගැටලුව විසඳාගැනීමේදී වැදගත් වන වචන දෙකක් තිබේ. එනම්, 

  • 1.විකල්ප (Alternatives) හා    
  • 2.තෝරාගැනීම් (Options)     යන වචන දෙකයි.

විකල්ප යනුවෙන් අදහස් කරනුයේ යම් යම් පරමාදර්ශ ඉදිරිපත් කිරීමයි. එනම් කළු පෑනක් අවශ්‍ය කෙනෙකුට, කළු පෑනක් සපයා දීම (ඊලමට ඊලම දීම) විකල්ප වේ.

තෝරාගැනීම් යනු

කළු පෑනක් අවශ්‍ය කෙනෙකුට නිල්, රතු, කහ පෑන් තුනකින් කළු පෑනවෙනුවට වඩා හොඳ දේ සපයාදීමයි. කළු පෑන වෙනුවට නිල් පෑණ වඩා හොඳ යැයි අවශ්‍ය තැනැත්තා තීරණය කළහොත් එය තෝරාගැනීම් වේ.

තෝරාගැනීම් 

පවතින තත්ත්වයන් යටතේ රාජ්‍යට තෝරාගැනීම් තුනක් තිබේ. එනම්,

  • 1.බලහත්කාරයෙන් රඳවා ගැනීම 
  • 2.වෙන්වීමට ඉඩදීම (ස්වීඩනයෙන් නෝර්වේ වෙන්වීමේදී කළා මෙන් යුද නොකර සාමකාමී වෙන්වීමකට ඉඩදීම) 
  • 3.අතරමැදි විසඳුමකට පැමිණීම. මෙහිදී දෙපාර්ශ්වයේම කැමැත්ත ඊට අවශ්‍ය වේ.

තෝරාගැනීම් සඳහා ඉඩකඩ

මෙකී තෝරාගැනීම් ප්‍රායෝගික යථාර්ථයක් වීමට ඇති ඉඩකඩ සලකා බැලීමේදී පහත දැක්වෙන කරුණු පිළිබඳව අවධානය යොමුකිරීමට කැමැත්තෙමි. වෙනම රාජ්‍යක් යන්න ප්‍රායෝගික යථාර්ථයක් විය නොහැකිය. එයඑසේ වන්නේ රාජ්‍යත් රාජ්‍ය ගොඩනැගීමට සම්බන්ධව සිටින අයත් වෙනම රාජ්‍යක් යන්නට එකඟ නොවන නිසාය.

බලහත්කාරයෙන් රඳවාගැනීම

පසුගිය කාලයේදී පැවැති තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අල්ලාගැනීම අසීරු කටයුත්තක් සේ සැලකූ නමුත් මෑතදී රාජ්‍ය ලත් සමහර ජයග්‍රහණ හේතුවෙන් හා එල්.ටී.ටී.ඊ හි සන්නද්ධ ශක්තිය අඩුවීම හේතුවෙන්, බලෙන් අල්ලා ගැනීමක් සාර්ථක වීමට ඉඩ තිබේ. එහෙත් රාජ්‍ය දිනාගන්නා ප්‍රදේශ නැවත එල්.ටී.ටී.ඊ විසින් දිනා නොගන්නවා ඇතැයි යන්නට ප්‍රමාණවත් සාක්ෂ්‍ය නොමැත. එසේම එවැනි බලහත්කාරයෙන් අල්ලාගැනීමක් බැහැර කරනු ලැබූ (දෙමළ) ජනතාවගේ අභිලාශයන්ට විරුද්ධය. එකඟතාවකදී (අතරමැදි තත්ත්වය) ඊට දෙපාර්ශ්වයේම ජන කොටස් අතර සමාන ආකාරයේ ගනුදෙනුවක් අවශ්‍යය. අද එවැනි සමාන ගනුදෙනුවක් වන්නේ නැත. එහි එක් පාර්ශ්වයක් විසින් ‘පැකේජය’ ඉදිරිපත් කරනු ලැබ ඇතත්, දෙමළ ජාතික අභිලාශයේ ප්‍රධාන නියෝජිතයා වන එල්.ටී.ටී.ඊය, ඒ ක්‍රියාදාමයෙන් බැහැර වී සිටී. ටී.යූ.එල්.එෆ් වැනි වෙනත් ආයතන පවා ඒ ගනුදෙනුවෙන් බැහැර වෙමින් සිටී.

පැකේජය

රාජ්‍ය ගොඩනැගීම සිදුවන්නේ ප්‍රචණ්ඩ හා බලහත්කාරී අවයවයක් ලෙසිනි. මේ බලහත්කාරී ආයතනයට පුරවැසියන් දක්වන ප්‍රතිචාරය, විරෝධය හා එකඟත්වය මුසු වූ එකකි. නිදසුන් වශයෙන් ගතහොත් අප එළිපිට හෝ ඇතුළතින්, රාජ්‍යටත් එහි අධිකාරී බලයටත් කැමැත්තක් ක්වන්නේ නැත. එසේ වෙතත් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කර ගැසට් මගින් ප්‍රකාශ කළ පමණින් ඒ නීතිය පිළිගැනීමට ද අපි පුරුදු වී සිටිමු. එසේම කටයුතු කරමු. මෙසේ නීතිගරුක වීම හා රාජ්‍ය රැකගැනීමට කටයුතු කිරීම මගින් ප්‍රකාශවන්නේ රාජ්‍යයේ ඒකාධිකාරී බලය කෙරෙහි අප දක්වන අනුමැතිය හා එකඟත්වයයි. රාජ්‍ය යන්ත්‍රය හා රාජ්‍යට යටත් වන (පුරවැසියන්) අතර ඇති මේ සම්මුතිය නොමැති විට, රාජ්‍ය පවත්වාගෙන යා නොහැකි වේ. ඒ සම්මුතිය බිඳුණු විට රාජ්‍ය පවත්වාගෙන යා හැකි එකම මාදිලිය වන්නේ නිතර නිතර බලහත්කාරය (හමුදාව) යෙදවීමයි. රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා හමුදා ශක්තිය උපයෝගී කරගන්නා රාජ්‍යන් ගැනෙන්නේ අස්ථාවර රාජ්‍යන් ලෙසිනි. හොඳ රාජ්‍යන්, ස්ථාවර රාජ්‍යන් (Stable)වන්නේ ප්‍රචණ්ඩ බලය හා බලහත්කාරය අඩුවෙන් යොදාගන්නා රාජ්‍යන්ය.

රාජ්‍යට පැකේජය වැදගත් වන්නේ මෙතැනදීය. යම් ආකාරයකින් උතුරේ සන්නද්ධ ශක්තිය විනාශ කර රාජ්‍යයේ ආධිපත්‍ය යළි සකස් කරනු ලැබුවහොත් ඒ ආධිපත්‍ය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා දිගින් දිගටම හමුදාව යොදාගැනීමේ හැකියාවක් රජයට නැත. හමුදා ශක්තිය උපයෝගී කරගනිමින් මූලික අභියෝග ජයගත්තායින් පසුව ඒ ප්‍රදේශවල සිටින ජන කොටස් සහ එකී ප්‍රදේශ නැවත රාජ්‍යට සම්බන්ධ කරගැනීම සඳහා සුදුසු ආයතනික යාන්ත්‍රණයක් රජයට අවශ්‍යය. පැකේජය මගින් ක්‍රියාවේ යෙදවෙනු ඇත්තේ මෙකී ආයතනික යාන්ත්‍රණයයි.

කෙබඳු තත්ත්වයන් යටතේ වුවත් මේ ප්‍රශ්නය විසඳීමේදී දෙමළ ජාතියේ අභිලාශයන් සැලකිල්ලට ගැනීම අවශ්‍ය බව මගේ විශ්වාසයයි. නමුත් පැකේජයේ දී දෙමළ ජනතාවගේ අභිලාශයන් සැලකිල්ලට ගැනීමක් සිදුවන්නේ නැත. පැකේජය හරහා සිදුවනු ඇත්තේ දෙමළ ජනතාවගේ ජාතික විමුක්ති අරගලය ලංකාවේ රාජ්‍යයේ මිලිටරි ශක්තිය උපයෝගී කරගනිමින් චප්ප කර විනාශ කර දමා ඒ මතට විසඳුමක් යැයි රජය උපකල්පනය කරන වෙනත් දෙයක් බලයෙන් පටවා ඒ ප්‍රදේශවල ජනතාව රාජ්‍ය දෙසට ඇදගැනීමයි.

මේ කාර්ය සිදුවන්නේ රාජ්‍යට අවශ්‍ය ආකාරයට විනා දෙමළ ජනතාවට අවශ්‍ය ආකාරයට නොවේ. පැකේජය කප්පාදු කරනු ලබන්නේත් ඇමිණීම් කරනු ලබන්නේත් රාජ්‍යට අවශ්‍ය ආකාරයට ය. ඒ ප්‍රදේශවල බුද්ධාගම තිබෙනවාද නැද්ද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේත් ජී.එල් පීරිස් සහ රජය විනා එකී ප්‍රදේශවල ජීවත් වන ජනතාව විසින් නොවේ. හැමදේම හුවමාරු වන්නේ රාජ්‍යයේ ඕනෑ එපාකම් අනුව මිස දෙමළ ජනතාවගේ අවශ්‍යතාව සලකා බලා නොවේ.

පැකේජයේදී දෙමළ ජනතාවට අදාළ කාර්යභාරයක් නැති තත්ත්වයක් තුළ ඒ මගින් ගැටලුවට පිළිතුරු ලැබේ යැයි විශ්වාස කිරීම මුලාවකි. අද පවතින තත්ත්වය යටතේ මේ ගැටලුව විසඳීමට අවශ්‍ය නම් ඒ සඳහා, සාමය සඳහා අඛණ්ඩ උත්සාහයක් (පලස්තීනයේ මෙන්) අවශ්‍ය වනු ඇතැයි යන්න මගේවිශ්වාසයයි. ඒ සඳහා දෙපාර්ශ්වයටම බලපෑම් කළ හැකි බාහිර බලවේගයක මැදිහත්වී අවශ්‍ය වනු ඇත.  ජාතික ගැටලුව විසඳීම සඳහා ඉතිහාසයේ උදා වූ ඉතාමත්ම වාසිදායක තත්ත්වය මගහැරි චන්ද්‍රිකා රජයට එය කළ හැකි වේ යැයි කෙසේවත් විශ්වාස කළ නොහැකිය. 

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ සංවිධානය සන්නද්ධ වශයෙන් පරාජය කර, භූමිය අල්ලාගෙන බලෙන් පටවන විසඳුමක් මගින් වනු ඇත්තේ ගරිල්ලා යුද්ධය නව මුහුණුවරකින් ඉදිරියට පැමිණීමත් ගැටලුව වඩාත් සංකීර්ණ වීමත් පමණි. එවැනි ගරිල්ලා සටනකදී රාජ්‍යට අද තරම් පහසුවෙන් ඊට මුහුණදීමට හැකිවන්නේ නැති වන්නට ද පුළුවන.

( ලිපියේ සන්දර්භය – 1983 කළු ජූලියෙන් සර 13කට පසු චන්ද්‍රිකා රජය බලයට පත්වීමෙන් වසර දෙකකට පසු….)