මේ වෙද්දී රට මුහුණදෙන ඩොලර් අර්බුදයට විසඳුම් සොයන්නට නිර්මාණශීලී ලෙස නිෂ්පාදන සැලසුම් හදන්න අසමත් ආණ්ඩුව, තමන්ට පුළුවන් ලෙහෙසි මාර්ගයෙන් ලොකු මුදලක් උපයන්න උත්සාහ කරනවා.
ඒ කොළඹ නගරයේ වටිනා ඉඩම් ඇතුළු ඉඩම් 50කට වැඩි රජයේ ඉඩම් ප්‍රමාණයක් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට විකිණීමෙන්. ඒ ව්‍යාපෘතියෙන් ඩොලර් බිලියන 6ට වැඩි මුදලක් උපයන්න ආණ්ඩුව හිතනවා.
විකුණනවා කීවාට මේවා රජයේ සහ පෞද්ගලික අංශයේ එකතුවෙන් ‘ආයෝජනය’ සඳහා යොදවන බව තමයි ව්‍යාපෘතිවල තියෙන්නේ. ඒ කියන්නේ රජයට සීයට 51ක් සහ පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට සීයට 49ක් ලැබෙන ආකාරයට අලෙවි කිරීමෙන්. මේ ගැන සන්ඩේ ටයිම්ස් පත්තරය කළ විමසීමකදී නාගරික සංවර්ධණ අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා කියා තිබුණේ ඔය සීයට 51ක් ආණ්ඩුවට ලැබෙන කතාව.
ඒත්, මීට කලිනුත් ඕනෑ තරම් අවස්ථාවල පැහැදිලි කර ඇති පරිදි, මෙවැනි ආයෝජනවලදී ප්‍රායෝගිකව සිදු වෙන්නේ පෞද්ගලික අංශයට වාසි ලැබීම.
රජයේ නිකම් තිබෙන ඉඩම්වල ආයෝජනය කරන එකේ වරදක් නෑ. ඒ වගේම රජයට තනිව ආයෝජනය කළ නොහැකි නිසා පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමේත් වරදක් නෑ.
ඒත්, ලංකාවේ දේශපාලන නායකයන් බොහෝ විට මේවා කරන්නේ තමන්ටත් කොමිස් ලැබෙන විදියට, අවංක ආයෝජකයන් වෙනුවට දූෂිත ආයෝජකයන් අල්ලාගෙන රජයට අවාසි ආකාරයට දේපළ අලෙවි කිරීම. මේ ව්‍යාපෘතිය විතරක් මඩෙන් උඩට ඉස්සුණ නෙළුම් මලක් වගේ වෙනස් වේවි කියලා විශ්වාස කරන්න අමාරුයි.
කලින් හඳුනාගත් ඉඩම්වලට අමතරව අලුතෙන් හඳුනාගත් ඉඩම් පවා මේ ව්‍යාපෘතියට තෝරා ගන්නවාලු. උදාහරණයක් විදියට එම්එස් ෂුමූක් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් සර්විසස් කියන ඕමාන් සමාගමට චාමර්ස් ධාන්‍යාගාරය සහ ගුවන් හමුදා මූලස්ථානය දෙන්න හිටියාලු. ඒත්, දැන් ඒ ගනුදෙනුව ඇණහිටලාලු.
කොළඹ 05 පිහිටි ‘සමිට් ෆ්ලැට්’ නම් මහල් නිවාස සංකීර්ණයට ඩුබායි ආයෝජකයෙක් ඇහැ ගහගෙනලු. අක්කර දහයක ඒ ඉඩම්වල සුපිරි මහල් නිවාස සංකීර්ණයක් හදන්නලු ආසාව.
කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ සහ වෝක්ෂෝල් වීදියේ අක්කර හය බැගින්, නුගේගොඩ සහ කොල්ලුපිටිය වෙළඳසැල්, කොටුව ලෝක වෙළඳපළේ අක්කර හතරක්, රාජගිරිය ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අක්කර තුනක් සහ බත්තරමුල්ලේ අක්කර තුනක් මේ ඉඩම් අතර තියෙනවාලු.
ඊට අමතරව නුවරඑළියේ සහ මහනුවර ඉඩම්, ඒකල අක්කර 55ක් මේ වෙද්දී විකුණන්න සූදානම්ලු.
වැලිකඩ බන්ධනාගාරයේ ආයෝජනයට කොරියානු ආයෝජකයෙක් කැමැත්ත පළ කරලාලු. හොරණ ප්‍රදේශයේ අලුත් හිරගෙදර ඔවුන් හදලා, හිලව්වට වැලිකඩ ආයෝජනයට ඉඩ ඒ කොරියන්කාරයන්ට ලැබෙන විදියටයි එතැන කතන්දරේ.
මේ ඉඩම් අවුරුදු 33,50 හෝ 99 වශයෙන් බදු දෙන්නටයි ලෑස්ති. නිවාස සංකීර්ණ සහ හෝටල් ඇතුළත් උස කුළුණු, හෝටල් සේවා, විවේකී විනෝද ස්ථාන, තට්ටු ගණනක වාහන නැවතුම්, සේවා මධ්‍යස්ථාන ආදී විවිධාකාර ඉදි කිරීම් මේ ඉඩම්වල කරන්නලු ඉන්නේ.
නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් මේ ව්‍යාපෘතිවලට බැංකු ණය ලබා දීම සහ එම ව්‍යාපාරවලට සහයෝය දැක්වීම කරනවාලු. කෙසේ වෙතත් අවුරුදු දෙකක් යද්දී ඉදිකිරීම්වල ප්‍රගතියක් නැතොත් ඉඩම් ආපහු ගන්න හැකි විදියටලු ගිවිසුම් අත්සන් කරන්නේ.
ඒත් තීරණාත්මක කතාන්දරේ මේකයි. විශාල වශයෙන් ප්‍රමෝෂන් කළාට, ගිලෙන නැවක් වැනි ලංකාවේ මෙවැනි ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න කැමැත්ත දක්වන උදවියගේ අඩුවක් තියෙනවාලු. විශේෂයෙන් කොළඹ වරාය නගරය ඉදි වීමෙන් පස්සේ, එතැනත් ආයෝජනය කෙරෙන්නේ මේ කියන ඉඩම්වල කරන්න හිතන වර්ගයේ ආයෝජනම වන නිසා තවත් ඒ ජාතියේම ඉදි කිරීම්වලින් පළක් තියෙනවාද වගේ හැඟීමක් ඇතැමුන්ට තියෙනවාලු. ඒ කියන්නේ දැනටමත් කලම්බු සිටි සෙන්ටර් හෝ වන් ගෝල්ෆේස් වැනි ඉදි කිරීම් තියෙද්දී, තවත් ඒ ජාතියේම ඉදි කිරීම් මොකටද? ෂැංග්‍රිලා හෝටලය ඇතුළු හෝටල් තියෙද්දී, අලුතින් පෝට් සිටියේත් ඒ ජාතියේම ඉදි කිරීම් හැදෙනවා නම් ආයෝජකයෙකු තවත් තැනක ඒවා කරන්නේ මොකටද?
විශේෂයෙන් කොළඹ නගරයේ සුපිරි මහල් නිවාස සංකීර්ණ පවා දැන් වැහි වැහැලා. ඒ වුණාට ලංකාවේ ඔය තරම් මහා ධනස්කන්ධයක් ඇති මිනිසුන් සීමිතයි. ගොඩක් මිනිස්සු මහල් නිවාස කෙසේ වෙතත් මාළුපාන් ගෙඩියක් කන්න බැරිව ඉන්නේ.
ඒ තත්වය එහෙම තිබියදී නාගරික සංවර්ධන අධිකාරිය නොවැම්බර් 25 වැනිදා බත්තරමුල්ලේ වෝටර්ස් එජ්හිදී ‘එනර්ජයිස් ශ්‍රී ලංකා’ස් ඉකොනොමි’ යන තේමාවෙන් ආයෝජක සමුළුවක් පවත්වන්න ලෑස්ති වෙනවාලු. එහිදී දැනට තියෙන ප්‍රමුඛතාව දුන් ඉඩම් ප්‍රවර්ධනය කරනවාලු.
මීට අමතරව අයවැය කතාව කරද්දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ආයෝජකයන් සඳහා දැනට තියෙන කොන්දේසි තවත් ලිහිල් කරන්නත්, විදේශ ආයෝජන ඇද ගැනීමටත් පියවර ගන්නා බව. ඒ වගේම දැනට ඇති දුම්රිය ඉඩම්වල ආයෝජන ව්‍යාපෘති කරන බවත් ඔහු කියා තිබුණා.
කොහොමත් ඉදිරියේදී විකුණන ඉඩම් ප්‍රමාණය වැඩි වේවි.
කලිනුත් කීවා වගේ අපි නම් ඉඩම් ආයෝජනය කරනවාට, ආයෝජකයන් එනවාට විරුද්ධ නෑ. කොහොමත් දැවැන්ත ඉදිකිරීම් සහිත ආයෝජන කරන්න හැකියාව තියෙන ලංකාවේ ධනවතුන් අඩුයි. ඒ නිසා විදේශ ආයෝජකයන් ආවත් කමක් නෑ.
ඒත් නිසි සැලසුමක් ඇතිව කරන එකත්, කොමිස් වංචා එක්ක කූඨ ව්‍යාපාර විදියට ඉඩම් විකුණා දමන්නේ නැතිව විනිවිදභාවයෙන් යුතු විධිමත් ආයෝජන කරන එකත් වැදගත්. එවැන්නක් ලංකාවේ සිදු වේවි කියා විශ්වාස කරන්න අමාරුයි. ලංකාවට ඇදෙන්නේත් ආණ්ඩු එක්ක ඩීල් දමා, කොමිස් ගෙවා රටේ සම්පත් සූරා කන්න බලන දුෂ්ඨ ආයෝජකයන් කියන එකයි අපේ අත්දැකීම.