සමගි ජන බලවේගය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට සූදානමින් හිටපු රැළිය කොවිඩ්-19 වසංගතයට අදාලව ආණ්ඩුව දාපු අලුත් සීමා හේතුවෙන් පැවැත්වීමට නොහැකි වුණත්, ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමන පවත්වන්නට එම පක්ෂය සැලසුම් කරලා.
ආණ්ඩුව පසුගිය සතියේ ගැසට් පත්‍රයක් මගින්, පුද්ගලයන් එක්රැස්වීම වළක්වන්නට කියා ගැසට් පත්‍රයක් නිකුත් කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට සංශෝධනයක් විදියට ඒක නිකුත් කළත්, වසංගතයට මුවා වී ආණ්ඩුවට එල්ලවෙන විරෝධය නැවැත්වීමේ පටු අරමුණෙන් ඒක නිකුත් කරපු බව නම් පැහැදිලියි.
විශේෂයෙන් මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තිබුණේ, විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජන බලවේගය 16 වැනිදා හයිඩ් පිටියේ රැළියක් පැවැත්වීමට සූදානමින් සිටියදී.
පුදුමය කියන්නේ ආණ්ඩුව එකම මොහොතේ තමන් වැඩිපුරම එන්නත් ලබාදුන් ජාතියක් බව කියමින් කයිවාරු ගැසීමත්, පුද්ගල ඒකරාශිවීම් වළක්වන්නට කියා ගැසට් ගැසීමත්. මේ වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය වගේ වැඩිපුරම එන්නත් ලබා දුන් රටවල් නම් විශාල ක්‍රීඩා උත්සව, සංදර්ශන ආදිය පවා පවත්වන්නේ පුද්ගල ඒකරාශීත්වයෙන්. අපි ඒ රටවල් තරම් එන්නත් ගැහුවා නම් මේ අලුත් ගැසට් කුමකටද?
කරුණු කෙසේ වෙතත් ඒ ගැසට් එක පාවිච්චි කරමින් මේ වෙද්දී සමගි ජන බලවේගයේ 16 රැළිය සඳහා වෙන් කර තිබුණු හයිඩ් පාක් පිටිය ලබා දීමට නොහැකි බව කොළඹ නගර සභාව ප්‍රකාශ කරලා.
සන්ඩේ ටයිම්ස් පත්තරේට අදහස් දැක් වූ සමගි ජන බලවේගයේ උප සභාපති හරීන් ප්‍රනාන්දු කියා තිබුණේ ‘අපේ මුල් සැලසුම හයිඩ් පාක් පිටියට රැස් වී, එතැන් සිට ජනාධිපති ලේකම් කාර්යාලයට විරෝධතා පා ගමනක් පැවැත්වීම. හයිඩ් පාක් පිටියේ රැස් වීමට නොහැකි නිසා, අපි වෙනත් තැනක එකතු වී පා ගමන සැලසුම් කළ ආකාරයට පවත්වනවා’ යනුවෙන්.
හයිඩ් පාක් පිටියේ රැස්වීම වැළැක්වීමට ගත් පියවරයන් නීතිවිරෝධී බව පෙන්වා දෙමින් අධිකරණයේ නඩු පැවරීමටත් බලාපොරොත්තු වන බව ඔහු කියලා. ‘මේ ගැසට් පත්‍රය අනුව දැන් ළමයින්ටවත් ඒකරාශී වෙන්න බෑ. ඒත්, ඉස්කෝල ඇරලා. මේ අලුත් ගැසට්ටුවේ තේරුම තමයි ආණ්ඩුව මහජන විරෝධතා මැඩ පැවැත්වීමට ඒක පාවිච්චි කිරීම. අපි දැක්කා ඉන්දියාවේ ගොවි විරෝධතාවලින් ආණ්ඩුවට අභියෝග කළා. සමහරවිට ජනාධිපතිවරයා හිතනවා ඇති ලංකාවේත් එහෙම වේවි කියලා.’