තීන්දුවක් රිවස්! වැස්සෙන් පස්සේ රසායන පොහොර බෙදන්න සැලසුමක්!

 අධික වැස්සෙන් හානි වූ පැතිවලට රසායනික පොහොර ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙමින් ඉන්න බව ඒ අමාත්‍යාංශයේ ආරංචිමාර්ග ඇසුරෙන් සන්ඩේ ටයිම්ස් පත්තරය වාර්තා කරලා.

මෙරට දැනටමත් ඇති රසායනික පොහොර තොගවලින් එලෙස පොහොර ලබා දීමට නියමිතව ඇත්තේ බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටලු. මේ දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඉන්නේ එළවළු සහ පළතුරු වගාකරුවන්.

එම ප්‍රදේශවලම වී වගා කරන්නන් සිටියත්, වර්ෂාවෙන් වී වගාවට සිදුව ඇති හානිය තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය තක්සේරු කර නැති බවත් එම පුවත්පත වාර්තා කරලා.

මේ ගැන ඇහුවාම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා තිබුණේ තත්වය බරපතල බව. විශේෂයෙන් එළවළු ගොවීන්ට. ‘අපි ක්ෂණික පියවර නොගත්තොත්, එළවළු මිල ඉහළ යාවි.’ යනුවෙන් ඔහු කියා තිබුණා.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග මේ ගැන සාකච්ඡා කළ බවත් ඔහු කියලා. ක්ෂණික විසඳුමක් විදියට දැනට පොහොර ආනයනකරුවන්ගේ ගබඩාවල තිබෙන කෘෂි රසායනික පොහොර, වල්නාශක තොග ප්‍රමාණයන් පරීක්ෂා කොට, ඒවා මිලට ගැනීම සඳහා ක්‍රමවේදයක් මුල් පියවර විදියට ක්‍රියාත්මක කරනවාලු.

එමෙන්ම හානි වූ ගොවීන්ට වන්දි ගෙවීමටත් සූදානම් වෙනවාලු.

මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ. ජයසිංහ කියා තිබුණේ වර්ෂාවෙන් පස්සේ පවතින තත්වය රටේ ආහාර සුරක්ෂිතතාවට බලපාන්නේ කොහොමද කියලා පැහැදිලි කරන වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලලා තිබෙන බව. මේ වෙද්දී උතුරු පළාතේ පවා ඇතැම් වගාවන්ට වර්ෂාව නිසා හානි සිදු වී ඇති බව කියනවා.

ඉදිරි අඟහරුවාදා එම සැලැස්ම එළි දක්වනවාලු.