‘දෙගොඩවාරම’ – චන්ද්‍රිකා විජේසුන්දර 

සිව් මංසලකි. ඒ මධ්‍යයේ නුග රුකකි. නගරය බලා යන ඕනෑම අයෙක් මේ නුගේ පසුකර යා යුතුය. නුග ගස වටා ජනයා පොරකති.  ඒ, නුගගසේ කඳේ දේව රූපයක් මතු වී ඇති බව ප්‍රචාරය වීමෙනි. එය නරඹන්නට බොහෝ දුර ඈත සිට සෙනඟ පැමිණෙති. දිනපතා උදේ සවස මේ සිව්මංසල පසුකර යන තිදෙනෙකි. ඒ සසංක, භාෂිණි හා ගගන්ය. සසංක හා භාෂිණි වෘත්තියෙන් වෛද්‍යවරුය. ඔවුහු පෙම්වත්තුය. ගගන් මේ දෙදෙනාගේම කළණ මිතුරාය. ඔහු සෞන්දර්යවාදියෙකි. චිත්‍ර ශිල්පියෙකි. 

මේ තිදෙනා තනි තනිව තම වාහනවලින් ගමන්ගන්නා අතර තම සිත් සමග කතා කරති. තර්ක කරති. එය ඔවුන්ට විනෝදාංශයකි. අපට ඔවුන් හඳුනාගත හැකි වන්නේ එම සංවාද හරහාය. සසංක රෝහල් සේවයට අමතරව පෞද්ගලික ඩිස්පෙන්සරියක් ද පවත්වාගෙන යයි. ඒ, අමතර ආදායම සඳහාය. සසංක හැමවිටම ෂෝට්කට් සොයන්නෙකි. හැකි ඉක්මනින් මුදල් ටිකක් සොයාගෙන භාෂිණි සමග එක වහලක් යටට යාම ඔහුගේ බලාපොරොත්තුවයි. මනෝ වෛද්‍යවරියක වන භාෂිණි තම පර්යේෂණ කටයුතු සාක්ෂාත් කරගන්නට උත්සාහ කරයි. ගගන් විවේකී හැමවිටම චිත්‍ර කර්මය තවදුරටත් හදාරන අතර චිත්‍ර ද අඳී. ඔහුගේ චිත්‍රවලට හැමවිටම පාදක වන්නේ ස්ත්‍රී රූපයයි. මහ නුගේ පසු කර යන්නට ආ ගගන් මදක් නැවතී පොදි කකා සිටින සෙනඟ අතරින් ගොස් නුග ගස පරීක්ෂා කරයි. ඔහු එතැන දකින්නේ ද ස්ත්‍රී රූපයකි. අපට මෙම චරිත තුන මුණගස්වන්නේ ගාමිණි කන්දේපොල විසින් මෑතකදී එළිදක්වන ලද ‘දෙගොඩවාරම’ නව කතාවෙනි. දෙගොඩවාරම මෙවර ස්වර්ණ පුස්ථක කෘති අවසන් දොළහ අතරට තේරී පත්විය.  

ගාමිණිගේ දෙගොඩවාරම ඔහුගේ අන්‍ය නව කතාවලට වඩා වෙනස් මගක් ගත්තකි. විද්‍යාව මිථ්‍යාව හා පෑහීම නොපෑහීම අතර කතාව දෝලනය වේ. බොහෝ වැල් වටාරම් නැති ආලවට්ටම් නැති හැසිරීම් ක්‍රියාකාරකම් හා දෙබස් සමග ගැටෙන කෙටි නව කතාවකි. විනාඩි හතලිස් පහක් වැනි කෙටි කාලයක් තුළ මම කතාව කියවා අවසන් කළෙමි. අවසානයේදී මට හැඟුණේ නව කතාවක් කියවනවාට වඩා එකින් එක වර්ණවත් රූප රාමු පෙළක් පෙළගැස්වූ සිනමා සිත්තමක් පැයකට ආසන්න කාලයක් තුළ නරඹා ඇති සැටියකි.

කතුවරයා මෙහිදී එක්තරා ජනප්‍රවාදයක් හා දේවසංකල්පයක් හුවා දක්වයි. ඒ අනුව පුරාතනයේ ගැහැණිය සහ පිරිමියා එකට බද්ධව ජීවත්වූවෝ වෙති. ඒ කියන්නේ අත් හතරක් කකුල් හතරක් හිස් දෙකක් ආදී වශයෙනි. එවිට ඔවුහු කිසිදු භේදයක් නොමැතිව ඉතා සතුටින් සම්භෝග සම්පත්තියෙහි යෙදෙමින් ජීවත් වූහ. මේ දුටු දෙවියන්ට ඊර්ෂ්‍යා සිතුණේය. දෙවියන් මේ එක්ව තිබූ මිනිස් ශරීර දෙක දෙකට මැදින් වෙන් කළේය. ඒ ගැහැණිය සහ මිනිසා වශයෙනි. එතැන් පටන් වෙන් වූ කෑලි දෙක තමන්ට ගැලපෙන කෑල්ල සොයන්නට වූහ. බොහෝ දෙනාට තමා කැමැති කෑල්ල මරණය දක්වා හමු නොවේ. අද වුවත් බොහෝදුරට නොගැලපෙන විවාහ සිදුවන්නේ තමන් රිසි අයම හමු නොවන නිසාය. එසේ නොගැලපෙන ඇතැම්මු මගදී වෙන්වෙති. ඇතැම්මු නොයෙකුත් හේතු නිසා බැඳගත් බෙරය ගසති. 

මෙහි එන ප්‍රධාන චරිතයක් වූ සසංක ආත්මාභිමානයෙන් පෙලෙන්නෙකි. තමා පොෂ්වට සිටි තරමට තමාගේ පිළිගැනීම වැඩිවන බව ඔහු සිතයි. එසේම තම පෙම්වතිය ඔහු අභිබවා යනු ඇතැයි යන සැකය ඔහු තුළ සෑමවිටම පවතී.  එනිසා ඔවුන් සැමවිටම  එකම රාමුව තුළ කොටුකරගැනීමට පෙළඹේ. ඇයගේ පර්යේෂණ කටයුතුවලට උදවු කරනවා වෙනුවට ඔහු කරන්නේ ඒ දෙස අවතක්සේරුවෙන් බැලීමය. ඇය සමග ඒ සඳහා ගමන් බිමන් යාමට වුව ඉදිරිපත්වන්නේ ද අකමැත්තෙනි. 

  “පර්යේෂණ කරන්න මොකටද ඔය තරම් මහන්සි වෙන්නේ? වෙන අය කරන්නේ පුස්ථකාලයට ගිහින් ඒ පොත් කියවලා එකතු කරගැනීමයි.” ඔහුගේ මතයයි. ඒ නිසා භාෂිණිට නිතරම ගගන්ගේ ලබාගැනීමට සිදුවේ. සසංක මේ දෙස බලන්නේ ද සැකයෙනි. මෙවැනි පිරිමි අද සමාජයේ බොහෝසේ දක්නට වෙති. තමාගේ පෙම්වතිය හෝ බිරිය සිටිය යුතු වන්නේ තමාට පියවරක් පසුපසින බව සමහරු සිතති. සසංක ද එවැන්නෙකි. ඔහු ඇය එසේ තබාගැනීමට නොයෙකුත් උපක්‍රම යොදයි. ඔහු හිසය. ඇය ගෙලය. ගෙල නැත්නම් හිස කෙලින් තබාගැනීමට නොහැකි බව ඔහුට නොහැඟේ. ඒ ආධිපත්‍යයේ තරමය. 

භාෂිණි ඔහුගේ තරවටු නොසලකා තම කාර්යයේ නියැලේ. ඇයට ඒ සඳහා ප්‍රධාන වෛද්‍යවරියගෙන් හා ගගන්ගෙන් ලැබෙන්නේ නොමද සහායකි. ඇයගේ මෙම පර්යේෂණ ක්‍රියාවලිය වෙනත් අතකට යොමුවන්නේ දිනක තමා හමුවට එන අමුතු රෝගියකු නිසාය. මොහු තරුණයෙකි. මුහුණ තරම් විරූපී ගතියක් පෙන්නුවත් ඇගපත කඩවසම්ය. ඔහුගේ බැල්ම තියුණුය. එහෙත් හොරෙන් මිස කෙලින් නොබලයි. සබකෝලය. මනමාලය. ඔහු සායනයේදී රෝග ලක්ෂණ විමසන්නටත් පෙර පෙත්තක් ඉල්ලයි. කුමක්ද ඒ පෙත්ත? ඔහු ඉල්ලන්නේ ගැහැණුන් වශී කළ හැකි පෙත්තකි. 

“එහෙම පෙති දෙන්න බෑ. මොකක්ද නම?” භාෂිණි විමසයි.

“ක`ඵ කුමාර”

“ක`ඵ කුමාර? වාසගම?” 

“මට වාසගමක් නෑ”

“තාත්තගෙන් එන නම”

“මට තාත්තෙක් නෑ. මට පෙත්තක් දීපල්ලා”

මේ උමතු තරුණයාගේ කතාවෙන් භාෂිණිගේ හිත වෙනතකට දිව යයි. ක`ඵ කුමාර යනු ගම්මුන් පවසන ක`ඵ කුමාර දිෂ්ටියයි. ඒ ක`ඵ කුමාර හා මේ ක`ඵ කුමාර අතර පවතින සබඳතාව කුමක්ද? ඇගේ පර්යේෂණ මනස වෙනත් අතකට දිව යයි. එය තවත් පර්යේෂණ කටයුතු පහසු කරන්නකි. ඇය එතැන් පටන් ක`ඵ කුමාර දිෂ්ටිය ගැනම වැඩිපුර කරුණු සොයන්නට පෙළඹෙන අතර කුමාරගේ රෝග විනිශ්චය සොයාගන්නට කාලය වෙහෙසවයි. 

මේ අතර ඔහු නිතර රෝහලට පැමිණ භාෂිණි සමග පැය ගණන් කාලය ගතකිරීම සහ ඔහුගේ උමතු හැසිරීම් රෝහලේ සු`ඵ සේවකයන් අතර කතාබහට ලක්වේ. මෙය සසංකගේ කනට වැටී දවසක් හිටි හැටියේ ඔහු ඇයගේ කාමරයට කඩා වදී. කෝපයෙන් කතා කරන විට භාෂිණි සන්සුන් ලෙස පිළිතුරු දෙයි. ඇය තමා කියන දෙයක් ගණන් නොගන්නා සිතන බව ඔහු “තමුසෙට දැන් මට වඩා අර පිස්සා ලොකු වෙලා. තමුසෙ ඕන මගුලක් කරගන්නවා” කියා පිටවයන්නේ කෝපයෙනි. තමා ඔහු සමග තර්ක කිරීම ගැන පසුතැවෙන භාෂිණි කුමන බාධක පැමිණියත් තම අරමුණ කරා යන්නට අදිටන් කරයි. 

කරුණාපාල නම් වූ විශ්‍රාමික ගුරුවරයෙක් ඇයගෙන් බෙහෙත් ගන්නට පැමිණෙන අතර ඔහුගේ සහායෙන් ක`ඵ කුමාර දිෂ්ටිය පිළිබඳ ඇය තවත් තොරතුරු රැස්කර ගනී. දිනක ක`ඵ කුමාර දිෂ්ටිය වැහුණු තරුණියක හට කරන තොවිලයක් බලන්නට යන ඇය සහ ගගන් ක`ඵ කුමාර දෘෂ්ටියෙන් උමතු වූ තරුණයාගේ තොරතුරු හා නිවස ද සොයාගනී. ක`ඵ කුමාර හා දිගින් දිගටම සබඳතා පැවැත්වීමෙන් ඔහුගේ කුලෑටි බව පහවී යයි. ඇය අසන ප්‍රශ්නවලට සෘජුවම පිළිතුරු දෙයි.

“මම ගෑනුන්ට ආසයි. උණ් මට කැමැති නෑ. ඒකයි මම උන් නාන දිහා හැංගිලා බලා ඉන්නේ. ගෑනු මට බනිනවා. හූ කියනවා. ගුටි පූජා දෙනවා” එවැනි අදහස් ඔහු කියයි.

ගැහැණියගේ නිරුවත දකින තෙක් ඔහුගේ මේ අසනීපය සුවකළ නොහැකි බව භාෂිණි අවබෝධ කරගනී. ඒ සඳහා ඇය උපක්‍රමයක් යොදයි.

එදින රාත්‍රියේ ඔහු රෝහලින් පිටවන්නේ අමුතුම මිනිසෙකු ලෙසිනි. මෙතෙක් කලක් සිරුර දරා සිටි අමුතු බරකින් නිදහස් වූ බවක් ඔහුට හැඟේ. 

මහා වැස්සක් නිමාවූයේය. ඔහු අත නිතර රැඳුණු නිරුවත් ගැහැණියගේ උඩුකය සිතුවම රෝහලේ කණුවක එල්ලයි. වැහි පොද වැටී පොළව නැවුම් වී ඇත. ක`ඵ කුමාර මෙතෙක් කලක් තමා අත රැඳි මිනිසුන් බිය ගැන් වූ උල් පිහිය ඈතට වීසි කරයි. හැංඟි හැංඟී අතුරු මාවත් දිගේ නිවසට එනවා වෙනුවට ඔහු එදින මහපාරේ හිස කෙලින් කරගෙන හමුවන අයට සිනාවෙන් සංග්‍රහ කරමින්  එහෙත් ඔවුන්ගෙන් ලැබෙන අවමන් නොසලකමින් නිවසට එයි. 

අහඹු සිදුවීමකින් පසු හමුවන තරුණියක ඔහු නිවසට ගෙනයයි. ඔහු සමාජගත වන්නේ ඒ අයුරිනි. දිනක් කඩයක පොල් තෝරමින් සිටින අතර ඔහු පොල් ගෙඩිය ඒ මේ අත හරවමින් විමසිලිමත් වේ. 

“මොනවද ඔය හැටි බලන්නේ” ඇය විමසයි. 

“මේ පොල්ගෙඩියෙ මේ පැත්ත පිරිමි. මේ පැත්ත ගැහැණු. ඒ කියන්නෙ ඔයයි මමයි. අපි එකතු වෙලා ඉන්නතුරු මේකෙ ඇතුලෙ තියෙන වතුර වගේ අපේ ආදරය රැඳේවි. වෙන් කළොත් මුකුත් නෑ.”

“මෙයා දන්න දේවල්? කවුද ඒවා කියල දෙන්නේ?”

“ භාෂිණි නෝනා තමයි. එයා කියන දේවල්වලට ඔ`ඵව පිස්සු හැදෙනවා” 

භාෂිණි තම පර්යේෂණය සාර්ථකව නිමාව දකී. ඇයගේ මනස සැහැල්ලුය මහා බරකින් මනස නිදහස් වී ඇත. ඇයට ඒ සතුට බෙදාගන්නට සසංකත් ගගනුත් අවශ්‍යය. එහෙත් සසංක තමා මගහරිමින් සිටින බව ඇයට දැනේ. බාහිරින් මිනිසුන් මනින්නට යෑමේ විපාක. 

ඔහුගෙන් ආදරනීය බැල්මක් ලැබූ කාලයක් ඇයට මතක නැත. වෙනදා මැදියම් රෑ වනතුරු ඇයගේ නිවහනේ කමින් බොමින් ප්‍රීතියෙන් සිටි සසංක ඔහුගේ සරාගී බැල්ම ඇයට සිහිපත්වේ. ඒ බැල්ම ඔහුගෙන් දැකිය හැකි වන්නේ ඔහු මධුවිතෙන් මත් වී සිටින විට පමණි. ඒ බැල්මට ඇය ආසා කරයි. එහෙත් පියවි ලොවේදී ඔහු වෙනත් අධිපතිවාදියෙකි. 

ඇයගේ පරීක්ෂණයෙන් නිගමනය වන්නේ අප කා තුළත් සැඟවුණු උන්මත්තකයෙකු සිටින බවයි. අධ්‍යාපනයෙන් බුද්ධියෙන් සහ සංවරබවින් එය වැසිය නොහැකිය. අපගේ අධ්‍යාපනය කඩාගෙන මේ උන්මත්තකයා එළියට පනී. වෛරයෙන් ප්‍රේමයෙන් ආදරෙයන් කාමාශක්තබවින් නන් අයුරින් ඒ උන්මත්තකයා පාලනය කරගත නොහැකි වූ විට බොහෝ විනාශ සිදුවේ. එය සසංකට ද ගගන්ට ද භාෂිණිට ද ක`ඵ කුමාරට ද ඔබට ද මට ද කියා වෙනසක් නොමැත.

අන්තිමේ ඇය තම සතුට බෙදාගන්නේ අතිජාත මිත්‍ර ගගන් සමග පමණි. ඇය ඔහු අත තිබුණු චිත්‍රය ගෙන පරීක්ෂා කරයි. නිරුවත් ගැහැණියකගේ හා පිරිමියකුගේ ලස්සන වර්ණ සංයෝජනයක්. ඇය චිත්‍රය මැදින් බෙදාවෙන්කරන්නට මෙන් චිත්‍රය මත ඇඟිලි තුඩු යවයි.

“වෙන්කරන්න බෑ නේද භාෂිණි?” 

ඇය කිසිවක් නොකියයි. 

“භාෂි අර බලන්න සසා වෙන ගර්ල් කෙනෙක් එක්ක ඇවිදිනවා”

ඇය තිගැස්සුණි. ඒ බව නොපෙන්වා ඔහු පෙන් වූ දිසාව බලයි. “ඇත්තමයි. එයාගෙ කෑල්ල හමුවෙන්න ඇති. එතකොට මම.. මම කවුද? ” ගගන් ඔවුන් පසුපස යාමට යෝජනා කරයි. ඇය එකඟ නොවේ. 

“බෑ.. මම අලුත් රිසර්ච් එකක් ගැන හිතනවා”

“ඒ මොකක්ද ” 

“මට මාවම සොයාගන්න තිබෙනවා” ඇය ඈත මිරිඟුව දෙස බලාගෙන පවසයි.

“ඒක කොයි තරම් අමාරු වැඩක්ඳ” ඔහු තමාගේම රුව අදින්නට ගොස් අමාරුවේ වැටුණු හැටි ගගන්ට මතක් වේ. ඉතින් භාෂිණිට භාෂිණි හමුවුණාද? 

ගාමිණි කන්දෙපොල මේ නව කතාව තුළින් පාඨකයාට සිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇත. බාහිරින් පෙනෙන දේට නිගමනය දිය නොහැකි බව ඔහු භාෂිණි මගින් පාඨකයාට ඒත්තු ගන්වයි. තමාට තමා සොයා යන්නට කතුවරයා පාඨකයාට මාවතක් විවර කර ඇත. ස්ත්‍රිය යනු පිරිමියාගේ මෙවලමක් නොව ඇය ඔහුගේ සහායිකාව බව පසක් කරදී තමාට හිමි වූ කෑල්ල සමග ජීවත්වීමට ජීවන අරගලයක යෙදෙන මිනිසුන් ගැන ද තමාට ගැලපෙන කෑල්ල සොයා ජීවිතය පුරාවටම අරගල කරන මිනිසුන් ගැන ද තමා තුළ සිටින උන්මත්තකයා පිටුවහල් කරන්නට සටන් කරන තැනැත්තා ජීවිතය ජයගන්නා බව ද ඔහුගේ නිගමනය වේ. 

දෙගොඩවාරම කියවලාම බලන්න.

කර්තෘ – ගාමිණි කන්දෙපොල 

ප්‍රකාශනය – මරදානේ සූරිය ප්‍රකාශන