මහ බැංකුවේ දරුණු කප්පම් නීති! ලංකාවට ඩොලර් ටික ගේන මිනිස්සු අමාරුව

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ශ්‍රී ලංකාවේ ආයෝජනය කරපු විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී දැම්ම ඩොලර්-රුපියල් හුවමාරු කිරීම ගැන නීතිරීතිවලට විරෝධය පානවාලු.

ඒ කියන්නේ අපනයන කරලා ලැබිච්ච, ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල තියෙන ඩොලර් යම් ප්‍රතිශතයක් තියාගෙන, ඉතිරිවා අනිවාර්යයෙන්ම රුපියල් කරපල්ලා කියලා මහ බැංකුව දීලා තියෙන නියෝගය ගැන. ඒ වගේම හැම මාසයකටම සැරයක් තියෙන සල්ලි රුපියල් කරන්න ඕනෑ බව ඒ නියෝගවල තියෙනවා. එතැනිනුත් එහාට යම් අපනයන සේවාවක් සපයලා ලංකාවට පිටරට සල්ලි ගේන විදියේ දේවල් කරන උදවිය, දවස් 180ක් ඇතුළත ඒ සල්ලි ලංකාවට ගෙන්වාගන්න ඕනෑ කියන එකත් නියෝගයක්.

සරලව කිව්වොත් මහ බැංකුවට සල්ලි නැති තැන,  දැනට සල්ලි ටිකක් උපයන මිනිස්සුන්ට බලපෑම් කරලා, බෙල්ලම හිර කරලා ඒ සල්ලි ටික රුපියල් කර ගන්න බලන්නේ. මේක හරියටම කීවොත් රත්තරන් බිත්තර දාන කුකුලා මරලා බඩේ තියෙන බිත්තර ඔක්කෝම ගන්න හදනවා වගේ වැඩක්.

එකිනෙකට වෙනස් හේතු ගොඩක් නිසා ගොඩක් අපනයන ආදායම් ලබන අය තමන් ලබන සල්ලිවලින් යම් කොටසක් ඩොලර්වලින් තියා ගන්නවා.

උදාහරණයක් විදියට පුංචි ඔන්ලයින් සේවාවක් සපයන අපට පවා ගූගල් ඇඩ්සෙන්ස් හෝ පේට්‍රියන් වගේ අඩවියකින් එන සල්ලිවලින් යම් කොටසක් ඩොලර්වලින් තියා ගන්න සිද්ධ වෙනවා. අපි වර්ඩ්ප්‍රෙස් ආයතනයේ සේවාවන්ට, වෙනත් ඔන්ලයින් සේවාවන්ට වගේම අපට අවශ්‍ය උපකරණ ආදිය ගෙන්වාගන්න, ඔන්ලයින් ඕඩර් කරන්න ඩොලර්වලින් වියදම් කරනවා.

ඒ එක් සරල උදාහරණයක්.

ඩොලර් රුපියල් කළාට පස්සේ, ඒ ව්‍යාපාරවල ආයෝජනය කරපු විදේශික ආයෝජකයන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද කියන එක දැන් තියෙන එක ප්‍රශ්නයක්. ඒ හැරුණාම දැන් මහ බැංකුව යටතේ නියාමනය වෙන බැංකු ආදී ආයතන ඇත්තම ඩොලරයේ අගයට වඩා අඩුවෙන්, ඒ කියන්නේ රුපියල් 203ක විතර මුදලක් විතරක් ගෙවන නිසා, ඩොලර් එකකට රුපියල් තිහකට එහා පාඩුයි.

අපි කලින් උදාහරණයක් විදියට කී හේතුවට අමතරව නොයෙකුත් හේතු නිසා ඩොලර්වලින් මුදල් තබා ගැනීමට අපනයනකරුවන්ට ඕනෑ. එක් උදාහරණයක් තමයි විදෙස් ආයෝජකයන්ට ලාභාංශ ගෙවන්න අවශ්‍ය වීම.

දැන් අපනයනකරුවන් හම්බ කරන සල්ලි මහා පරිමාණයෙන් පාඩු ලබමින් තමයි රුපියල්වලට හරවන්නේ. එතකොට පාඩු වෙන රුපියල් තිහක විතර මුදල කෙළින්ම මහ බැංකුවට ලාභයක් වෙලයි එන්නේ. ඩොලර් ගේන මිනිහාට අයිති සල්ලි බලෙන් රුපියල් කරගෙන, ඒකෙනුත් රුපියල් තිහක් විතර නොගෙවා, කප්පමක් විදියට තියා ගැනීමයි මහ බැංකුව කරන්නේ.

වැඩේ කියන්නේ පිටරටවලින් ඇවිත් ආයෝජනය කරපු අය මේකෙන් ලොකු අමාරුවක වැටෙනවා. මොකද, එයාලාට සල්ලි එන්න ඕනෑ ඩොලර්වලින්. ඒවා රුපියල් කළාම එයාලාට පාඩුයි.

නිදහස් වෙළඳ කලාප සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු කියා තිබුණේ ආයෝජන මණ්ඩලය හරහා ආයෝජනය කරපු අය, තමන්ට තාම ගෙවලා නැති ලාභාංශ ගැන සැක පළ කරලාලු.

එවැනි සමාගම්වල අය මහ බැංකුවේ ඉහළ නිලධාරීන් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවාලු. එවැනි සාකච්ඡාවක් වගේම, තමන්ගේ මුදල් ලැබෙන විදිය සහ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රමවේදය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලනවාලු. හරි විශ්වාසයක් නැත්නම් ඒ අය තමන්ගේ මුදල් අරගෙන, වෙන කොහේ හෝ ගිහින් ආයෝජනය කරන්න හිතනවාලු.

ව්‍යාපාර ගැන විග්‍රහ කරන විද්වතුන් කියන්නේ ඇඟලුම් ව්‍යාපාරයටත් වඩා සීයට ස තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාපාර අමාරුවේ වැටෙනවාලු. මෘදුකාංග අපනයනය කරන සමාගමක කෙනෙක් කියා තිබුණේ මේ වැඩේ තමන් නොකරපු වැරැද්දකට දඩ ගෙවනවා වගේ වැඩක්ලු. හරිහැටි තේරුමක් නැතිව, මහ බැංකුව ගන්න මේ පියවර අපනයනවලින් ලාභ හොයන මිනිස්සුන්ට කප්පම් ගහනවා වගේ වැඩක්ලු කරන්නේ. අනෙක් පැත්තෙන් තාක්ෂණ ක්ෂේත්‍රයේ අය මේ වගේ වැඩවලට උත්තර විදියට කරන්නේ සාම්ප්‍රදායික බැංකු ක්‍රම අමතක කරලා බිට්කොයින් හෝ වෙනත් ක්‍රිප්ටොකරන්සි වර්ගවලින් මුදල් ගැනීමලු. ඉස්සරහට වැඩි වැඩියෙන් කට්ටිය ඒ ක්‍රමවලට යොමු වේවි.

ආර්ථික විද්‍යාඥයන් කියා ඇත්තේ තාක්ෂණ පමණක් නෙවෙයි, අනෙකුත් කර්මාන්ත පවා මුදල් තැන්පත් කිරීම සඳහා වෙනත් රටවල් තෝරා ගැනීමෙන් විදේශ මූල්‍ය අර්බුදය තවත් වර්ධනය වනු ඇති බව.

ආර්ථික විශේෂඥයන් කියන්නේ තාක්ෂණ ක්ෂේත්‍රයට අමතරව වෙනත් කර්මාන්තවලින් පවා ලැබෙන මුදල් වෙනත් රටවල්වලට යොමු කිරීමෙන් විදේශ මුදල් අර්බුදය තවත් උග්‍ර වේවි කියා.

අනෙක් පැත්තෙන් අපනයනකරුවන් අහන්නේ යම් බැංකුවක් සතු මුදල්වලින් ආයෝජනය කරලාත් නැත්නම්, අපනයනය කළේත් ඒ බැංකු චැනලය හරහා නෙවෙයි නම්, මහ බැංකුව එවැනි ආයෝජකයන්ට දවස් 180ක් ඇතුළත සල්ලි අරන් රුපියල් කරන්න කියලා බලපෑම් කරන්නේ කොහොමද කියලයි. ඒ කියන්නේ එයාලා බිස්නස් එකට සම්බන්ධවෙලාත් නැත්නම්, ව්‍යාපාරිකයන්ට අයිති සල්ලි බලෙන් මාරු කරවන්නේ කොහොමද කියලායි.

බැංකුකරුවන් කියන්නේ විදේශ මුදල් කලමණාකරණ පනත සම්මත වුණාට පස්සේ, ලංකාවේ අපනයනකරුවන්ට ඉන්වොයිසියේ සඳහන් මුදල් ඒකකයෙන් හෝ වෙනත් කැමති මුදල් ඒකකයකින් ගෙවීම් ලබා ගැනීමේ අයිතිය ලැබෙනවාලු. ඒ නීති කඩලා කප්පම් ගැනීම තමයි දැන් වෙන්නේ.

ඒ විතරක් නෙවෙයි. මේ නීතිවල තිබුණා යම් සේවාවක් පිටරට ගනුදෙනුකරුවෙක්ට සපයන අය පවා, තමන්ට ලැබෙන සල්ලි රුපියල්වලට හරවන්න ඕනෑ බව.

යම් වෘත්තිකයෙක් පිටරට කෙනෙක්ට සේවාවක් දුන්නාම එයාට ලැබෙන ගෙවීමක් ඩොලර් ගිණුමකට දැම්මා කියා හිතමු. ඒ සල්ලි අයිති ඒ මනුස්සයාටනේ. අඩු තරමේ එයාට යෙදවුම් සඳහාවත් මුදල් යොදවන්න සිද්ධ වුණේ නැහැනේ. ඉතින්, ඒ කෙනාගේ සල්ලි රුපියල් කරන්න කියලා බලපෑම් කරන්නේ කොහොමද? එතැනිනුත් එහා ගිහින් ඒ සල්ලි ලංකාවට ගේන්න කියා බලපෑම් කරන්නේ කොහොමද?

ඊට අමතරව තේ සහ ඇඟලුම් කර්මාන්තවල සමහ විශාල සමාගම්වලට ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර ජාල තියෙනවා. වෙන රටවල් පදනම් වෙච්ච ව්‍යාපාර පවා ඔවුන් සිදු කරනවා. ඉතින්, එහෙම අය ඔක්කෝම සල්ලි රුපියල් කරන්නේ කොහොමද? එහෙම බලපෑම් එල්ල වෙද්දී ලංකාවේ ව්‍යාපාර අතෑරලා විදේශ රටවල ව්‍යාපාර ටික තවත් දියුණු කරගන ඒ රටවලම වැඩ කරන්න පටන් ගත්තොත් මොනවා වේවිද? ආර්ථික විශේෂඥයන් එහෙම විමසලා තිබුණා.