ගෝඨා එද්දී මිලයි-අද මිලයි! ධනවත් බැසිල්ලා නොදැක්ක ජීවන ප්‍රශ්නය ගැන හර්ෂ කී කතාව

මෙදා අයවැයෙන් ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කිසිම පියවරක් අරගෙන නැහැනේ. ඇත්තටම අයවැය කතාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු වෙලාවේම, අමාත්‍ය වාසුදේව නානායක්කාරත් කීවාලු මේකේ ජීවන වියදම ප්‍රශ්නයට කිසිම විසඳුමක් නැති බව.

කොහොම නමුත් විපක්ෂයේ කතාවේදී ඉතාම වැදගත් ගණන් හිලව් සංසන්දනයක් කළා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා. විශේෂයෙන් මිනිස්සුන්ට අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණයත්, ඇත්තටම ගන්න පුළුවන් ප්‍රමාණයත් ගැන ඔහු කතා කළා.

‘අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතිව ජීවත් වෙන්නේ කොහොමද? අර සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා දරිද්‍රතාවයෙන් මිදෙන්න නම් කිලෝකැලරි 2040ක් පරිභෝජනය කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒකට ආදායමක් තියෙන්න ඕනෑ කියලා. කොහොමද කථානායකතුමනි කිලෝකැලරි 2040ක් කන්නේ? 1000ක් ගන්න බෑ මේ මිලට.’ කියලා මන්ත්‍රීවරයා කීවා.

ඒ විතරක් නෙවෙයි, ජනාධිපති ගෝඨාභය බලයට පත් වුණ දවසේ සහ දැන් දක්වා භාණ්ඩ මිල සංසන්දනයකුත් ඔහු කළා.

‘නාඩු 140යි. ජනාධිපතිතුමා පත් වෙනකොට 90යි. සීයට 50කින් වැඩි වෙලා.

සම්බා 170යි, ජනාධිපතිතුමා පත් වෙනකොට 97යි. සීයට 65කින් වැඩි වෙලා.

වියලි මිරිස් 600යි. එදා 440යි. සීයට 36කින් වැඩි වෙලා.

පරිප්පු අද 250යි. ජනාධිපතිවරණය දවසේ 110යි. සීයට 127කින් වැඩිවෙලා.

සීනි අද 150යි, එදා 100යි. සීයට 50කින් වැඩි වෙලා.

කිරිපිටි අද 480යි. එදා 395යි. සීයට 22කින් වැඩි වෙලා.

එල්පී ගෑස් අද 2675යි. එදා 1493යි. සීයට 79කින් වැඩි වෙලා.

ටින් මාළු 380යි. එදා 230යි. සීයට 65කින් වැඩි වෙලා.’

මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ කතාවේදී ජීවන වියදම ගැන කී කොටස පහතින්.

‘ඉතිහාසයේ මේ තරම් ජනතාව මුලා කරපු යුගයක් අපට මතක නෑ. රවට්ටපු යුගයක් අපට මතක නෑ.

මුලින්ම කීවේ ලංකාවට සෞභාග්‍යය ගේනවා කියලා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහා ප්‍රතිපත්තිගරුක ජනතා හිතවාදී වැඩපිළිවෙලක් හරහා රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරනවා කිව්වා. මහා බලාපොරොත්තු ගොන්නක් දෙනවා කිව්වා. කොටි පැරැද්දුවා වගේ කරනවා කිව්වා. වැඩ කරන විරුවාට වැඩේ කරන්න ලක්ෂ හැටනවයක් ඡන්දය දුන්නා. පිටරටවල ඉඳලා ඡන්දය දෙන්න ටිකට් අරන් සමහරුන් ආවා.

ඡන්දෙන් දින්නාම වැඩ කරන්න නම් තුනෙන් දෙකක් ඕනෑ කිව්වා. අයියා අගමැති කරන්න ඕනෑ කිව්වා. මල්ලි මුදල් ඇමති කරන්න ඕනෑ කිව්වා. එතුමාගේ ඇමෙරිකන් පුරවැසිකම තියාගෙන මේ වැඩේ කරන්න විසිවැනි සංශෝධනය ඕනෑ කිව්වා. ඒ වැඩේ කරන්න තනි සිංහල ආණ්ඩුව මුස්ලිම් මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා ඒක දිනා ගත්තා.

දැන් ජනාධිපතිතුමා කීවා අපි අසාර්ථක වුණා. අපට වැරදුණා. අපට බැරි වුණා. නොයෙකුත් නිදහසට කාරණා. ටික දවසකට කලින් කීවා තේරෙන්නේ නෑ මට මේවා කියලා.

දැන් විපක්ෂයට බණිනවා උදව් කරන්නේ නෑ කියලා. හරි වැඩක්. මට නම් තේරෙන්නේ නෑ.

ඔය නිෂ්පාදන ආර්ථිකය වචන සෙට් එකක් විතරයි. න්‍යායාත්මකව බලලා ඔබලා කියන ආනයන ආදේශන කර්මාන්තකරණය හරහා රට තවදුරටත් වැටෙන එකයි වෙන්නේ කියලා මං කියන්නේ. 2020 නොවැම්බර් 18 වැනිදා මම විපක්ෂය වෙනුවෙන් පිළිතුරු කතාව කරද්දී මම මෙහෙම එකක් කීවා.

‘මම කියන්නම් වෙන දේ. ඉහළ ආනයන බදු දාන්න වෙනවා. ආනයන සීමා කරන්න වෙනවා. කෝටාස් දාන්න වෙනවා. මීළඟට අධි ප්‍රමාණ විනිමය අනුපාතයක් පවත්වා ගන්න වෙනවා. හැබැයි සාර්ථක වෙන්නේ නෑ. හැබැයි ආනයන ආදේශක නිෂ්පාදන භාණ්ඩ ගෝලීය වෙළඳපොළේ තරඟකාරී නෑ. ඕකෙන් වෙන්නේ ඵලදායී නොවන අකාර්යක්ෂම ආර්ථිකයක් නිර්මාණය වීමයි’ කියලා.

ඊට පස්සේ 2020 නොවැම්බර් 10 වැනිදා මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී මම මේක නැවත අවධාරණය කළා. මම කීවා ඔබලාගේ ආනයන ආදේශන න්‍යායට සල්ලි අච්චු ගමන මැජික් මනී ට්‍රී කියන අපභ්‍රංශ න්‍යාය එකතු කළාම වෙන්නේ උද්ධමනය වැඩි වෙලා රුපියලේ අගය කඩා වැටිලා මේ ඉන්න වළෙන් තවත් කඩා වැටෙන එක තමයි කියලා. ඕනෑම රටක ආණ්ඩුවක ඕනෑ ඒ රට නිසි වැඩ පිළිවෙලක් ඇතිව ඉදිරියට අරන් යන්න.

මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නෑ. සැලැස්මක් නෑ. තනි තීරණයක් නෑ. රට ඉබාගාතේ යනවා. දැක්මක් නෑ. වැඩපිළිවෙලක් නෑ. හැම ගැසට් එකක්ම රිවස් කරනවා.

මේ සතියට පමණක් ගැසට් දෙකක් රිවස් කළා. මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? හැබැයි ආණ්ඩුවේ ලොක්කන්ට වගේ වගක් නෑ.

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා කියලා ලොක්කෝ තාම බයිලා ගහනවා. මම දැක්කා අපේ නාමල් ඇමතිතුමා පෝට් සිටි එකේ ප්‍රසන්න අමැතිතුමාවත් දාගෙන පදිනවා. රට යන්නේ රිවර්ස් එකේ. විපක්ෂය කියන දේවල් අහන්නැහැලු. අපි කීවා.

අඩු තරමේ තමන්ගේම විශේෂඥ උපදේශකවරුන් කියන එකත් අහන්නේ නැතිව අපේ කතාව අහයිද? විපක්ෂ නායකතුමා 2020 ජනවාරි මාසයේ ඉඳන් කීවා වසංගතය එනවා. වගකීමෙන් විද්‍යාත්මකව රට පාලනය කරන්න කියලා.

හැබැයි මොකද කළේ? මිත්‍යාවට ප්‍රමුඛතාව දුන්නා. පැණි පෙව්වා. මුට්ටි විසික් කළා. අවසානයේදී 13,297ක් අහිංසක ජීවිත බිලිදෙන්න සිද්ධ වුණා. ඒ ප්‍රමාද වෙච්ච නිසා එන්නත්කරණය. විද්‍යාවට නැතිව මිත්‍යාවට ඇහුම්කන් දුන්න නිසා.

හිටපු මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමාත් අපට අහිමි වුණා.  ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුවට නොපෙනෙන, එහෙමත් නැත්නම් නොතේරෙන රටේ ඇත්ත තත්වය මම කෙටියෙන් පැහැදිලි කරන්නම්.

ඇත්ත තමයි, දැන් ලංකාවම කළු කඩයක්. මහා පරිමාණ මුදලාලිලාගේ ජාවාරම් පමණයි සිද්ධ වෙන්නේ. හැම බඩුවක්ම ගිණි ගණන්. රුපියල් 1000ට ෂොපින් බෑග් එකක් පිරෙන්න බඩු ගන්න බෑ. වෙළෙන්දෝ හිතූ හිතූ ගණන්වලට විකුණනවා. මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ.

මිල පාලනය කියන්නේ යල් පැනපු න්‍යායක් කියලා මුදල් ඇමතිතුමා ඊයේ කිව්වා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමාව සමච්චලයට පත් කළා. ගැසට් ගහලා මේවා කරන්න බැහැ කිව්වා. සමාවෙන්න ඇමතිතුමා ඔබතුමාගේ මූණ බලාගෙන මේක කියන්න සිද්ධ වුණාට.

මොකක්ද මේ කියන්නේ. ආණ්ඩුව නියාමනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලාද? තනිකර නව ලිබරල්වාදයට ගමන් කරලා. ලේබල් එක තමන්ගේ නළලේම අලවාගත්තා ඊයේ. මේ තියෙන්නේ ජනතාවගේ ලේ උරා බොන යුගයක්.

අයවැය කථාවේ ලොකුවට කීවා ආදායම් අසමානත්වයක් තියෙනවාලු ලංකාවේ. ඒක උග්‍ර වෙලාලු. නමුත් ඒ විෂමතාවය විසඳන්න, ඇති නැති පරතරය අඩු කරන්න කිසිම යෝජනාවක්, එක යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේ නෑ.

කථාවේ කොච්චර කීවත්, ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්න බැරි නම් වැඩක් නෑ. ඔරකල් ඩේටාබේස් හදන්න ආපු ආණ්ඩුව අන්තිමට ජනතාවට කන එකත් නැති කළා.

ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද කථානායකතුමනි. පවුලේ අය විතරද කාලා බීලා ඉන්න ඕනෑ. බලන්නකෝ අත්‍යවශ්‍ය බඩුවල මිල.

මම මේක ගත්තේ ගිය සතියේ මහ බැංකු වාර්තාවෙන්. නාඩු 140යි. ජනාධිපතිතුමා පත් වෙනකොට 90යි. සීයට 50කින් වැඩි වෙලා. සම්බා 170යි, ජනාධිපතිතුමා පත් වෙනකොට 97යි. සීයට 65කින් වැඩි වෙලා. වියලි මිරිස් 600යි. එදා 440යි. සීයට 36කින් වැඩි වෙලා. පරිප්පු අද 250යි. ජනාධිපතිවරණය දවසේ 110යි. සීයට 127කින් වැඩිවෙලා. සීනි අද 150යි, එදා සීයයි. සීයට 50කින් වැඩි වෙලා. කිරිපිටි අද 480යි. එදා 395යි. සීයට 22කින් වැඩි වෙලා. එල්පී ගෑස් අද 2675යි. එදා 1493යි. සීයට 79කින් වැඩි වෙලා. ටින් මාළු 380යි. එදා 230යි. සීයට 65කින් වැඩි වෙලා.

කථානායකතුමනි, අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතිව ජීවත් වෙන්නේ කොහොමද? අර සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා දරිද්‍රතාවයෙන් මිදෙන්න නම් කිලෝකැලරි 2040ක් පරිභෝජනය කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒකට ආදායමක් තියෙන්න ඕනෑ කියලා. කොහොමද කථානායකතුමනි කිලෝකැලරි 2040ක් කන්නේ? 1000ක් ගන්න බෑ මේ මිලට.

මුදල් ඇමතිතුමා මේ හැමදේටම වසංගතය කියනවා. වී ගොවිතැනට, සහල් නිෂ්පාදනයට වසංගතය කොහොමද බලපෑවේ කියන්න කථානායකතුමා. ඔබතුමා කෘෂිකර්ම ඇමති හැටියට හිටියානේ. බලපෑවේ නෑ. හැබැයි වීවලින් ස්වයංපෝෂිත මේ රටේ දැවැන්ත හාල් හිඟයක් තියෙනවා. කොහොමද ඒක වුණේ? කවුද හිතුවේ අපට කන්න නැති වේවි කියලා.

අවුරුදු 50ක් පස්සට රට ගියා. මේක සාපයක්. මිනිස්සු කියනවා සාපයක් කියලා. මේ අයවැයෙන් දුක්විඳින ජනතාවට කිසිම දෙයක් දීලා නෑ. ගියපාර කිව්වා වැට් එක අඩු කළා. උපයන විට ගෙවන බදු නැති කළා, ආර්ථික සේවා බදු අයින් කළා කියලා. මේ සියලු දේ හරහා බඩු මිල අඩු වෙනවා විතරක් නෙවෙයි, අඩු වෙච්ච බඩු මිල ඒ මිලට පවත්වාගෙන යන්න පුළුවන් කියලා තියෙනවා. ඕක තියෙනවා සෞභාග්‍යයේ දැක්මේ කළු සුදු අකුරෙන් ලියලා. හැබැයි දැන් බදු වැඩි කරලා. ගහෙන් වැටිච්ච මිනිහාට ගොනෙක්  ඇනගෙන ඇනගෙන යනවා වාගේ.’