රජයේ අබලි ද්‍රව්‍ය ජාතික නිදහස් පෙරමුණ කොල්ල කයි 

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කර්මාන්තකරුවන්ට ලබා දිය යුතු රුපියල් කෝටි ගණනක් වටිනා අබලි ද්‍රව්‍ය ජාතික නිදහස් පෙරමුණේ ආධාරකරුවන් යැයි කියන පිරිසකට අයථා ලෙස ලබා දී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

නියමිත මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මෙම අබලි ද්‍රව්‍ය ලබාදීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතාගේ සහාය ලැබී ඇත.

මෙසේ ආධාරකරුවන් සඳහා අබලි ද්‍රව්‍ය ලබාදීම පහසු කිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ තැනැත්තකු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු හැටියට බඳවාගෙන තිබේ.

එහෙත් මෙම පත්කිරීම සඳහා අදාළ තැනැත්තා මූලික සුදුසුකම් හෝ සපුරා නොවීම හේතුවෙන් මේ වනවිට එම පත්වීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අභ්‍යන්තර අර්බුදයක් පැන නැගී ඇත.

මෙම අයථා ක්‍රියාවලිය අනාවරණය සඳහා මාධ්‍යවේදීන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු අයැදුම් ඉදිරිපත් කර ඇති නමුත් තොරතුරු ප්‍රදානය කළහොත් සත්‍ය අනාවරණය වන බැවින් විවිධ හේතු දක්වමින් තොරතුරු ලබාදීම මණ්ඩලයේ බලධාරින් විසින් පමා කරනු ලැබ ඇත. 

ධාරා වික්‍රමසිංහ