නාකොටික් මත් ජාවාරමුන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයිට නිදහස්

මත්ද්‍රව්‍ය  ජාවාරම් කළ සැකකාර නාකොටික් නිලධාරීන්ට හෙරොයින් ඡාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂාව සැපයූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වසර එකහාමාරකට ආසන්න කාලයක් එහි රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක කේ. අජිත් ප්‍රේමලාල්ව එම නඩුවෙන් නිදහස් කර ඇත.

නොවැම්බර් 11 වන දින කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා  මෙම නියෝගය ලබා දී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 29 වැනි සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම නිලධාරියා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම මත ඔහු මෙම නඩුවෙන් මුදා හරින ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

හෙරොයින් ජාවාරම සදහා සම්බන්ධ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 වසරේ අගෝස්තු මස 18 වැනිදාය. එදින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මොහු. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ අතර කිසිදු අවස්ථාවක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණේ නැත.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 305602 දරන නඩුවෙන් මෙම සැකකරු නිදහස් කළ අධිකරණය ඔහු එම නඩුවෙන් මුදා හැර තිබුණි.

මෙලෙස නිදහස් කළේ, ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කදවුරේ සංවිධානාත්මක අපරාධන මර්දන ඒකකයට අනියුක්තව රාජකාරි සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.