වාහන ආනයනකරුවන් අයවැයේදී සහන ඉල්ලුවාට, බැසිල් සාකච්ඡාවක් දුන්නේත් නෑලු!

නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී වාහන ආනයනකරුවන් සහන ඉල්ලා තියෙනවා. මේ ගැන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරලා.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඒ සඳහා කරුණු හතරකින් සමන්විත විධිමත් යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ඉදිරිපත් කරලා තියෙනවාලු. ඒ සංගමය මේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂගෙන් කිහිප වතාවක්ම ඉල්ලලාත් තියෙනවාලු. ඒත්, ලැබුණේ නැහැලු.

වාහන ආනයනකරුවන්ගේ සංගමය උපුටා දක්වමින් ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක ලියා තිබුණේ මෙම යෝජනාවල ප්‍රධාන අරමුණ මෝටර් වාහන කර්මාන්තය සංවර්ධනය කිරීම බව. ඒ තුළින් රජයේ බදු ආදායම වැඩි කිරීමත්, දැරිය හැකි මිලකට හොඳ වාහනයක් මිලදී ගැනීමට හැකියාව ඇති කිරීමත් එවැනි තීන්දුවකින් සිදුවිය හැකි යහපත් බවත් ඒ සංගමය පෙන්වලා තියෙනවා.

වාහන ආනයනයට පිළිගත හැකි දීර්ඝකාලීන විසඳුමක් දීම, රජයේ අනුමත වාහන ආනයන සහතිකයක් නිකුත් කිරිම ඔවුන්ගේ යෝජනාවල ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙවැනි විශාල ව්‍යාපාර ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තියෙන අය එක්ක සාකච්ඡා කිරීම වත්මන් ආණ්ඩුවේ ලොකු අඩුපාඩුවක් බවත් ඒ සංගමය පෙන්වා දීලා. වාහන ආනයන නොකිරීමෙන් පීඩාවට පත් ජනතාවට මෙන්ම ආනයනකරුවන්ටත් වරින් වර බොරු පොරොන්දු දී ඇති ආකාරයත් ඔවුන් පෙන්වා දීලා තියෙනවා.

ගිය අවුරුද්දේ මැද කීවාලු, 2020 අගදී සීමා ලිහිල් කරන බව. 2021 මාර්තු වෙද්දී කීවාලු වාහන ආනයනයට කෝටා සිස්ටම් එකක් හෙවත් සලාක ක්‍රමයක් හඳුන්වා දෙන බව. මේ වෙද්දී ඇතැම් දේශීය බදු විදේශ මුදල් ඒකකවලින් ගෙවන ක්‍රමවේදයක් හදන බව කීවත්, ඒ ගැනත් විවේචන තියෙන බව මේ සංගමය පෙන්වනවා.

මේ වෙද්දී වාහන ආනයනයට සීමා පනවලායි තියෙන්නේ. ඒ නිසා වාහන ආනයනකරුවන් වගේම ඒ ක්ෂේත්‍රයේ රැකියා හිමි විශාල පිරිසක් පීඩාවට ලක් වෙලා ඉන්නවා. ඒත් ඩොලර් අර්බුදය නිසා වාහන ආනයන සීමා කරන්න අවුරුදු දෙකක් තිස්සේ ආණ්ඩුව තීන්දු කරලයි තියෙන්නේ.

ඒ සීමා අස්සේ වුණත්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තීරුබදු රහිත නිල වාහන ගෙන්වන්න බාල උත්සාහයකුත් වාර්තා වුණා. මාස කිහිපයකට පෙර ඒ සඳහා එල්සී හෙවත් ණයවර ලිපි පවා විවෘත කරලයි තිබුණේ. ඒත්, විශාල මහජන විරෝධයක් හමුවේ ඒක අකුළාගත්තා.

කෙසේ වෙතත් දැන් ඇතැමුන් කියමින් ඉන්නේ මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වාගන්න ඕනෑ හින්දා, අයවැයේදී ටික දවසකට පොදුවේ වාහන ආනයනයට සීමා ඉවත් කරනු ඇති බව. තමන්ගේ වැඩේ කරගත් විගස ආයෙමත් වාහන ආනයනයට සීමා දමනු ඇතැයි එවැනි අය මත පළ කරනවා.