යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශනවලට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැති වජිර අබේවර්ධන හා හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් සෘජුවම බාධා කළේ යැයි එහි ආරම්භක ලේකම් ලැසිල් ද සිල්වා මහතා සටහන් රේඩියෝවට පැවැසීය.
හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා තමාට දුරකථන ඇමතුම් ලබාදෙමින් විමර්ශන කටයුතුවලට බාධා කළේ යැයි ද දිගින් දිගටම සිදුවන මේ ක්‍රියාවලිය නිසා අවසානයේදී තමාට ඔහුගේ දුරකථන අංකය දුරකථනයෙන් බ්ලොක් කිරීමට පවා සිදු වී යැයි ද ලැසිල් ද සිල්වා මහතා කීය.
දූෂිත ලෙස සතොස හරහා සහන් ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනය අතරේදී හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිලධාරින් මුද්‍රා තබන ලද ගබඩා විවෘත කරන්නැයි තමාට විවිධ අයුරින් බලපෑම් කළ නමුත් තමා කිසිදු විටෙක ඒවාට අවනත නොවී යැයි ද ඒ මහතා සඳහන් කළේය.
පසුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ මගම යමින් සැකකාර රාජ්‍ය නිලධාරින් ප්‍රශ්න කිරීම්වලට ලක්කිරීමට විරුද්ධව කටයුතු කළේ යැයි ද අවසානයේදී තමා කොමිසමේ ලේකම් ධුරයෙන් පහකිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ යැයි ද ඒ මහතා පැවැසීය.
සොරුන්ට දූෂිතයන්ට දඬුවම් දීම සඳහා ජනවරමක් ලබා බලයට පැමිණි ආණ්ඩුවේ නායකයන් දෙදෙනා. ඒ අයුරින් හැසිරුණේ නැත්නම් අද වනවිට බලවත් යැයි කියන පිරිසෙන් බාගයක් පමණ සිටින්නේ සිර අඩස්සියේ යැයි ද ලැසිල් ද සිල්වා මහතා අවධාරණය කර කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුඵ නිලධාරින් අවංකවම හොරුන් ඇල්ලීමට විමර්ශන කළේ යැයි කී හෙතෙම අවංකව රාජ්‍යට සේවය කිරීම නිසා සිරගතව වන්දි ගෙවන්නට සිදුවීම කනගාටුවට කරුණක් යැයි ද අවධාරණය කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් බාධා පැමිණියත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සෘජු දේශපාලන අධිෂ්ඨානයක් වී නම් විමර්ශන කටයුතු ස්වාධීනව සිදුකිරීමට පහසුකම් සැලසිය යුතුව තිබුණේ යැයි ද සිල්වා මහතා කීය.
රට වර්තමානයේ බංකොලොත් තත්ත්වයට ඇද දැමීමට මෙම පාර්ශ්ව දෙකම වගකිව යුතු යැයි චෝදනා කළ හෙතෙම ඉදිරියේ සකසන ආණ්ඩුවකදී මේ තත්ත්වයන් වැලැක්වීමට ජනතාව හා සිවිල් සමාජය පෙරට පැමිණිය යුතු යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.