ව්‍යවස්ථාවට ජනතාව සහභාගී කරගන්නැයි විද්වතුන්ගෙන් ආණ්ඩුවට යෝජනාවලියක්

මහජනයා සහභාගී කරගන්නා පාරදෘෂ්‍ය ක්‍රමවේදයක් මගින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දියත් කරන්නැයි ඉල්ලමින් ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයන් ඇතුඵ විද්වත්තු පිරිසක් රජයට ලියැවිල්ලක් ඉදිරිපත් කර ඇත.


ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ නිරීක්ෂණ පහක් හා යෝජනා හ තරක් ඇතුලත් කරමින් ඉදිරිපත් කළ එම ලියැවිල්ල මෙසේය.


පහත අත්සන් කරන අප, මෙම ප්‍රකාශනය නිකුත් කරන්නේ, දැනට සිදුවෙමින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවෘත සහ පුළුල්ව මහජන අදහස් ලබාගන්නා ක්‍රියාදාමයක් බවට පත් කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමට ය.


අප මෙම ඉල්ලීම කරන්නේ පහත සඳහන් කරුණු සැලකිල්ලට ගනිමිනි.


1. 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු සඳහා විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබීය. මෙම කමිටුවට මාස කිහිපයක් පුරා මහජනතාවගෙන් යෝජනා ලැබුණ අතර, එම කමිටුව දැනට ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කාර්යයේ නිරත වී සිටිනවා විය හැ කිය. මේ අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2022 වසරේදී සම්මත කරගන්නා බවයි. එසේ වුවත්, මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා කමිටුව දැනට යොදාගෙන ඇති ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු කිසිවක් මහ ජනනතාව ඉදිරියේ නැත. එමෙන්ම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතයට මග පෙන්වන මූලධර්ම කවරේදැයි යන්න ද මහ ජනතාව හමුවේ අනාවරණය කර නැත. එමෙන්ම, නව කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහ ජනතාවට ඉදිරිපත් කරනු ලබන්නේ ද යන්න ගැන ද කිසිදු තොරතුරක් නැත.


2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාත් නව ව්‍යවස්ථාවක් පැනවීම සඳහාත් මීට පෙරදී ගනු ලැබූ ප්‍රයත්න සෑම විටම ගැටලුසහගත ඒවා වූ බව අපි පිළිගනිමු. ඒවා ව්‍යවස්ථාවේ අන්තර්ගතය මෙන්ම සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද සතුටු දායක නොවූ ඒවා ය. එසේ වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධ අත්දැකීම් පිළිබඳ විචාරාත්මක හැදෑරීමකින් පාඩම් ඉගෙන ගැනීමටත්, ඒ මගින් එම ක්‍රියාවලියේ අඩුපාඩු නිවැරදි කර ගැනීමටත් අපි සියලු දෙනාම ප්‍රයත්න දැරිය යුතු බව මෙහිදී සඳහන් කරමු.


3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය යනු අභියෝගාත්මක කාර්යයකි. ප්‍රශ්නාවලි පත්‍රයක් පිරවීමට වඩා ඈතට යන ආකාරයේ මහජන සහභාගිත්වය සහ අදහස් විමසීම යනු අභියෝගාත්මක, එහෙත් අවශ්‍ය ක්‍රියාමාර්ගයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ සමහර අංග විවාදාත්මක සාකච්ඡා සහ කේවෙල් කිරීම්වලට පාත්‍ර වීම වැළැක්විය නොහැකි ය. අවංක විශ්වාසයෙන් ගන්නා ඉතා හොඳ ප්‍රයත්නවලින් පවා ලැබෙන්නේ අසතුටුදායක ප්‍රතිඵල වන්නට පුළුවන. එසේ වුවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර අනුමත කිරීමට මහජනතාව විසින් වරමක් ලබා දී ඇති, මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ගේ වගකීම වන්නේ, එම ජනතාවගේ අදහස් විමසීමත්, ජනතාවගේ අදහස්ද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී සැලකිල්ලට ගැනීමත්ය. ඒ සමගම පිළිගත යුතු කරුණක් වන්නේ, මහජන අදහස් විමසීමක් හෝ පාරදෘශ්‍යභාවයක් නොමැති ක්‍රියාවලියක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට පිළිගත නොහැකි බවයි.


4. දැනට සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය කොතරම් බැරෑරුම් එකක් වුව ද, සිදුවන්නේ මහජනතාව එම කාර්යයට සම්බන්ධ කර නොගැනීමයි. මේ අතර, මැතිවරණ නීති සංශෝධනය වැනි තවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් ද සිදුවෙමින් පවතී. ළඟදීම ප්‍රකාශයට පත්කර ඇති ‘එක රටක්-එක නීතියක්’ පිළිබඳ යෝජනාව කනස්සල්ල දනවන එකකි. එය වාර්ගික සුළුතර ජනකොටස් අතර මහත් සැක ඇති කිරීමට තුඩු දෙනු ඇත. ඒ සඳහා පත්කර ඇති කමිටුවෙහි සංයුතිය නියෝජනාත්මක එකක් නොවන හෙයින් ඒ ගැන ඇත්තේ මඳ මහජන විශ්වාසයකි. ඊට අමතරව, මේවා වනාහී රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සමාන්තරව සිදුවන ක්‍රියාවන් ය. මේ සමාන්තර ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සමග පෙළගැස්වෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත.


5. බහුවාර්ගික සමාජයකට ‘එක රටක්-එක නීතියක්’ යන අදහස වෙතින් ඇතිකරනු ලබන දිගුකාලීන නිෂේධනීය පලවිපාක ගැන ද අපි බලවත් කනස්සල්ල පළකරමු. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සඳහා අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියක් පිළිබඳ රාමුවක් ඇතුළත, බහුත්වවාදය පිළිගැනීම බව ද අපි අවධාරණය කරමු.
එබැවින් අපි ආණ්ඩුවෙන් මෙසේ ඉල්ලා සිටිමු.


1. දැනට සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත්, වගවීම් සහගත සහ පාරදෘශ්‍ය ක්‍රියාවලියකට අනුව සිදුකිරීම. ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුව නිතිපතා පාර්ලිමේන්තුවටත්, මහ ජනතාවටත් වාර්තා කිරීම මගින් මෙය සිදු කළ හැකි ය.


2. ව්‍යවස්ථා කෙටුම්පත භාෂා තුනෙන්ම මහජනතාවට ලැබෙන්නට සැලැස්වීම: ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට එම කෙටුම්පත කියවා ඒ ගැන විවේචනාත්මක අදහස් ඇතිකර ගැනීමට ආධාර වන පරිදි අර්ථවත් සහ ඵලදායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාක්‍ෂරතා වැඩ පිළිවෙළක් එම කෙටුම්පත ජනතාව අතට පත්කිරීමට සමාන්තරව දියත් කිරීම සහ නව කෙටුම්පත සම්බන්ධව ප්‍රමාණවත් මහජන විවාදයක් සහ සාකච්ඡාවක් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීම.


3. කෙටුම්පතට සම්බන්ධ මහජන ප්‍රතිචාර සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සුදුසු ක්‍රියාවලියක් සැලසුම් කිරීම.


4. දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියම කර ඇති පරිදි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් ද, ඇතැම් වගන්ති මහජනතාව විසින් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතුව තිබේ. එවැනි ජනමත විචාරණයක් පැවැත්විය යුත්තේ, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තම ඡන්දය මනා අවබෝධයකින් යුතුව, විචාරාත්මකව සහ වගකීමෙන් යුතුව භාවිත කළ හැකි පරිසරයක් තුළ බව ද අපි අවධාරණය කරමු. එවැනි පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම ද වෙයි.


අත්සන් කෙළේ:


1. ජනාධිපති නීතිඥ ජෙෆ්‍රි අලගරත්නම්
2. මහාචාර්ය ජයදේව උයන්ගොඩ
3. රොහාන් එදිරිසිංහ
4. ආචාර්ය සකුන්තලා කදිරගාමර්
5. ආචාර්ය රධිකා කුමාරස්වාමි
6. ආචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන්
7. ආචාර්ය මරියෝ ගෝමස්
8. නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන
9. තිස්ස ජයතිලක
10. ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්
11. ආචාර්ය ප්‍රියාන් ඩයස්
12. මහාචාර්ය අර්ජුන පරාක්‍රම
13. මාෂල් ප්‍රනාන්දු
14. මහාචාර්ය අබේසිංහ නවරත්න බණ්ඩාර
15. ආචාර්ය ලයනල් බෝපගේ
16. පී. මුතුලිංගම්
17. මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල
18. ආචාර්ය රමේෂ් රාමසාමි
19. සංජය රාජසිංහම්
20. ආචාර්ය අසංග වැලිකල
21. ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න
22. ආචාර්ය දිනේශා සමරරත්න
23. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
24. කුමුදුනි සැමුවෙල්
25. මහාචාර්ය සුමති සිවමෝහන්
26. ආචාර්ය කලණ සේනාරත්න
27. අධිනීතිඥ අමිර් ෆයිස්