කාර්‍ය මණ්ඩලය අඩු නිසා නඩු ප්‍රමාදයි – අධිකරණ ඇමති

නීතිපති දෙපාර්තමේන්තුවේ  නීති නිලධාරීන් සහ නීති නොවන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 600  දෙනකුගේ හිඟයක් පැවතීම නිසා අපරාධ නඩු සඳහා උපදෙස් ලබාදීම ප්‍රමාදවීමට ප්‍රධාන හේතුවක්වී ඇතැයි  නීතිපතිවරයා දැනුම්දී ඇති බව  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී නොවැම්බර් 11 දින පවසා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අධි නීතිඥවරුන් 50 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු පැවසීය.

නඩු ප්‍රමාදය නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බව තමා පිළිගන්නේ යැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී  චාමර සම්පත් දසනායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නඩු ප්‍රමාදවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ විෂය පථයට පරිබාහිර හේතු ගණනාවක් බලපා ඇතැයි පැවසූ අලි සබ්රි මහතා  ප්‍රමාණවත් අධිකරණ සංඛ්‍යාවක් නොතිබීම නඩු ප්‍රමාදවීමට බලපෑ ප්‍රධාන හේතු සාධකයක් බවත් ඔහු පැවසීය.

මෙයට අමතරව සීමිත අධිකරණ වෛද්‍ය නිලධාරීන් ප්‍රමාණයක් සිටීම, එම  නිලධාරීන් ස්ථාන මාරුවීම් ලැබීම, සීමිත රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රමාණයක් සිටීම, දිනකට එක නිලධාරියකුට අධිකරණ  කිහිපයකට පෙනී සිටීමට සිදුවීම, විත්තිකරුවන් අසනීප වීම  යනාදි හේතු ගණනාවක්ද නඩු ප්‍රමාද වීමට බලපා ඇති බවත්  එදිනෙදා නඩු එදිනෙදා විභාගයට ගත යුතු බව චක්‍රලේඛ මඟින් නියෝග කර ඇතත් එය ඒ ආකාරයට ක්‍රියාත්මක නොවන බවත් අධිකරණ ඇමැතිවරයා පවසා තිබුණි.

අධිකරණ නඩු ප්‍රමාදය වැළක්වීමට අධිකරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ ලබා ගැනීම  වැදගත් බව නීතිපතිවරයා සඳහන් කර ඇතැයිද ඔහු පවසා තිබුණි.

දිනෙන් දින වැඩිවන අපරාධ නඩුවලට   සාපේක්ෂව නීති නිලධාරීන්ගෙන් වැඩිවීමක් සිදුවී නැතැයි නීතිපතිවරයා දැනුම් දී ඇති බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා අපරාධ නඩුවලට උපදෙස් දීම හැරුණු කොට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට වෙනත් රාජකාරී  කටයුතුවල යෙදීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.