ලංසාගේ ඉඩම් නිසා මුතුරාජවෙල ගැසට් එක රිවස්

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මාධ්‍ය වෙත  පවසා ඇත.

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධව නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් වත්තල, ජා ඇල, කටාන, මීගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල පදිංචිව සිටින ජනතාවට බාධාවක් නොවන පරිදි මුතුරාජවෙල රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවත් ලන්සා මහතා පවසා ඇත.

එබැවින් එම ප්‍රදේශවල ආගමික නායකයින් මෙන්ම ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ඒ මහතා පවසා ඇත.

කෙසේ වෙතත් අදාළ ගැසට් පත්‍රය පිළිබදව පවතින ගැටලු විසදීම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ජාවක්ද කොළඹදී පවත්වා ඇත.

නොවැම්බර් 08 වන දින පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් නිමල් ලන්සා මහතා පවසා සිටියේ මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට විරෝධය පළ කරන බවය.

ආණ්ඩුවක් ලෙස නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවත් මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද දැඩි කුතුහලයට පත්ව ඇති බවත් පවසා තිබුණි.

මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිසා තමන්ගේ පවුලේ  ඉඩම් විශාල ප්‍රමාණයක් තමන්ට අහිමි වන බවත් ඔහු පවසා තිබුණි.

මෙම සිද්ධියෙන් පසුව  මුතුරාජවෙල ‌තෙත් බිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා නොවැම්බර් 09 වන දින   දහවල් 11.30ට එහි නිලධාරීන් පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවීමට පියවර ගෙන තිබුණි.

කාදිනල් හිමිපාණන්ද මෙම මුතුරාජවෙල ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් පවරා තිබුණි.