මන්ත්‍රී මිලාන්ගේ අස්කරගත් අල්ලස් නඩුව යළි පවරයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව අල්ලස් කොමිසම නොවැම්බර් 09 දින කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පවරා ඇත.

අදාල පුද්ගලයා දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවදියේ ගල්කොරියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර නිකුත්කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 06ක් අල්ලස් වශයෙන් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම 2015 වසරේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.

කෙසේ වෙතත් එම නඩුව පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ ම අනුමැතිය ලබාදී නොමැති බව පවසමින්   එම කොමිසම ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා ඉල්ලා අස්කර ගෙන තිබුණි.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ ම අනුමැතිය සහිතව එම කොමිසම විමිලාන් ජයතිලක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා පත්‍ර ගොනු කර ඇත.