මහින්ද, බැසිල්-ගුරු සමිති සාකච්ඡාවේ වෙච්ච දේ! ගුරු සටන හමුවේ රාජපක්ෂලා දණගසයි! ඒත් එතැනත් ඩ්‍රාමා

මාස ගණනක් තිස්සේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණ මාලාවක් මර්දනය කරන්නට බැරිව ආණ්ඩුව දණ ගහලා තියෙනවා.

සල්ලි නෑ කිව්ව ආණ්ඩුවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පොරොන්දු වුණාලු අයවැයෙන් කෝටි 30ක් ගුරු වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කරන බව. ඒ අනුව ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවලින් තුනෙන් එකක් ලබන ජනවාරියේ ඉඳන් ගෙවන්න එකඟ වෙලා.

මීට කලින් මහින්ද රාජපක්ෂ මහතා එක්ක තිබුණ සාකච්ඡාවේදී ඔහු කීවා, මෙදා පාර අයවැයේදී ඒ විෂමතාවෙන් තුනෙන් එකක කොටසක්, තුනට කඩලා ගෙවනවා කියලා. ඒක විසඳුම විදියට බාර ගන්න කීවා. ඒත්, ගුරු වෘත්තිය සමිති ඒක බාර ගත්තේ නෑ.

අප කළ විමසීමේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙහෙම කීවා.

‘සම්පූර්ණයෙන් ඉල්ලීම දෙන්න එකඟ වුණා. අපේ ඉල්ලීම එකවර ගෙවනවා කිව්වා. ජනවාරි ඉඳන්. හැබැයි මේක නාට්‍යයක් විදියට කළේ පොදුජන පෙරමුණ යෝජනාවක් බාර දුන්නා එකවර ගෙවන්න කියලා. ලක්ෂ ගණන් ගුරුවරු පාරට බැහැලා අරගල කළේ අපරාදේ. (සිනාසෙමින්)’

මේක නාට්‍යයක් කියලා කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ කරපු වැඩක් හින්දා. ඇය මේ කියන විසඳුම ලියලා, ඒක පොහොට්ටුවේ වෘත්තිය සමිතියේ යෝාජනාවලියක් කියලා සඳහන් කරමින් ආණ්ඩුවේ නායකයන්ට බාර දුන්නාලු. එතැන අගමැති මහින්ද, මුදල් ඇමති බැසිල් සහ අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්න හිටියා.

ඊට පස්සේ ඒ වෘත්තිය සමිතිය කියන දේ බාරගැනීමක් විදියටලු විසඳුම දුන්නේ.

ඒවා නම් විහිළු. ඇත්තටම මේක අර සමහර හාමුදුරුවරු කීවා වගේ ‘බඩගින්නේ ඉඳලා හරි ළමයින්ට උගන්වන්න’ කියන පරාදීන මානසිකත්වයට එරෙහිව කරපු සටනක ජයග්‍රහණයක්. උං දෙන දෙයක් කාලා, උං දෙන දෙයින් සතුටු වෙලා, සොච්චරමෙන් ජීවත් වෙන, තමන්ට ඕනෑ දේ ඉල්ලන්න සටන් නොකරන ලංකාවේ වහල් ජනතාවට ගුරුවරු පාඩම් ඉගැන්නුවේ කළ නොහැකි බව සිතූ සටනක් කරමින්. ඒ සටන ඉදිරිියේ ආණ්ඩුව දණ නැවීමයි මේ සාකච්ඡාවේදී සිද්ධ වුණේ.

මේ ගැන විමසීමේදී ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ කීවේ මෙහෙම.

‘බැසිල් රාජපක්ෂ මහතා තමයි වැඩිපුර කතා කළේ. ඔහු පොරොන්දු වුණා අයවැයෙන් රුපියල් බිලියන 30ක් වෙන් කරන බව. වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් ලබන ජනවාරි මාසයේ ඉඳන් එකවර ගෙවනවා. කලින් කීවේ ඒක තුනට කඩලා ගෙවනවා කියලයි.’

මෙය ගුරු සටන ජයගැනීමක් ලෙස සලකනවාදැයි අප මහින්ද ජයසිංහ මහතාගෙන් ඇහුවා. ඔහු පිළිතුරු දුන්නේ ‘ඔව්, අනිවාර්යයෙන්ම’ යනුවෙන්.

කෙසේ වෙතත් ගුරුවරුන් ඉල්ලූ වැටුම් විෂමතාව තවමත් සම්පූර්ණයෙන් විසඳී නැහැ. සම්පූර්ණ විෂමතාවෙන් තුනෙන් එකක් තමයි දෙන්න එකඟ වුණේ.

ඒ අනුව නොවැම්බර් 12 වැනිදා කොළඹදී ගුරු බලය පෙන්වීම සඳහා සංවිධානය කළ දැවැන්ත විරෝධතාව නවත්වනවාද? මෙතෙක් පැවති ගුරු උද්ඝෝෂන සීමා කරනවාද කියා අප විමසුවා. එහීදි නායකයන් කීවේ ඒ ගැන තීන්දුව ඉදිරියේදි ගන්නා බව.