අසාධාරණව හිරගත කරපු අය නිදහස් කරන්නැයි ඉල්ලූ තවත් පෙරටුගාමීන් 5 දෙනෙක්ව අත්අඩංගුවට ගන්නැයි නියෝග!

මාස්ක් නැතිව ආපු පොලිස්කාරයෙක් අල්ලං ගියපු, ඊට පස්සේ සෞඛ්‍ය නීති කැඩුවා කියලා හිරේ දැම්ම අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මතක ඇති. ඒ විතරක් නෙවෙයි, චමීර කොස්වත්ත සහ කෝෂිලා සඳමාලි වැනි අය අත්අඩංගුවට අරන් සිරගත කරලා ඉන්නවා.

ඒ හිරේ දැමීමට විරුද්ධව උද්ඝෝෂණය කළා කියලා දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගන්න කියලා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා.

නොවැම්බර් 10 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ තමන්ගේ පක්ෂයේ සාමාජිකයන් නිදහස් කරන්න කියලා ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයක් නිසා, ‘අධිකරණයට අපහාස කළා’ කියලයි මේ අයව අත්අඩංගුවට ගන්න නියෝග කරලා තියෙන්නේ.

හැබැයි ඉතින් අපිත් කියන්නේ ඕක අධිකරණයට අපහාසයක් කියලා අපට නං පෙනුණේ නෑ. ඒක කෙළින් කියන්න එපායැ. ‘ගොරකා දඩමස් කරන බලු නීතිය’ යනුවෙන් ඒ විරෝධතා පුවරුවල සඳහන් වෙලා තිබුණා. ඒ තමයි අපේත් හැඟීම. ‘නීතිය විහිළුවක් වෙලා’ කියලා සඳහන් කරලා තිබුණා. ඒකත් අපි හැමෝම පිළිගන්න දෙයක් වෙලයි තියෙන්නේ. අනෙක් පැත්තෙන් බැසිල් රාජපක්ෂලාගේ නඩු ඉල්ලා අස් කර ගැනීම තරම් උසාවියටයි, නීතියටයි අපහාසයක් අපට මේ උද්ඝෝෂණවලින් පේන්නේ නෑ.

ඉතින් සමහරවිට ඒ බව පෙන්වමින් උද්ඝොෂණ කරපු, කතා කරපු දුමින්ද නාගමුවලා හිරේ දැමීම තමයි ඇත්තටම උසාවියට අපහාසය වෙන්නේ. සමහරවිට උසාවියට අපහාස කරන්නේ උසාවියම වෙන්න ඇති. ඔය ටික කිව්වාම, ලිව්වාම අපිව හිරේ දැම්මත් කමක් නෑ.

අපේ හිතට ඉබේම එන ඒ අදහස නොකියා හිතේ තියං එළියෙ ඉන්නවාට වඩා, හිරේ යන එක හොඳයි.

(මේ සටහනට යෙදූ ඡායාරූපය 10 වැනිදා කඩුවෙල උසාවිය ඉදිරිපිට තිබුණු උද්ඝෝෂණයෙන් නෙවෙයි, 08 වැනිදා කොටුවේ තිබුණු විරෝධතාවයෙන් ගත්තේ.)