‘ඇති හැකි අයට බදු ගසනු..’ අයවැයට පෙරවදනක්..


ආචාර්ය ප්‍රියංග දුනුසිංහ


2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කෙරෙන්නේ 2019, 2020 හා 2021 යන ආසන්න වසර තුනේම ආර්ථිකය අඩපණ වූ පසුබිමකය. 2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරයත් 2020 කොවිඞ් වසංගතයත් සමග ආර්ථිකය කඩා වැටීම යනු රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස පහළ වැටීමය. අනක් අතට රජය කළ යුතු වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම වසංගතය පාලනයට අදාළව හා වසංගතය නිසා කඩාවැටුණු ජීවිත ගොඩනැන්වීම සඳහා රජය කළ යුතු වියදම් ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වයට අමතරව ආණ්ඩුව මෑතකදී ගත් ප්‍රතිපත්තිමය තීන්දු විසින් අර්බුදය උග්‍ර කරනු ලැබ තිබේ.

නිදසුනකට ආනයන පාලනය සමග ඒ හා රැකියාවල නිරතවූවන්ගේ ජීවන මාර්ග අවදානමට වැටී ඇති අතර ආනයන බදු විශාල වශයෙන් ඉහළ දැමීම මගින් ආනයනකරුවෝ විශාල වශයෙන් පීඩාවට පත්ව ඇත. එමෙන්ම සංචාරක කර්මාන්තය කඩාවැටෙද්දී කෘෂිකර්මාන්තය පැත්තෙන් පොහොරවලට අදාළව ගත් තීන්දු සමග ගොවීන් සැලකිය යුතු පිරිසක් ගොවිතැනින් විතැන් වී තිබේ. එසේ බලද්දී 2022 අයවැය ඉදිරිපත් කරන්නේම දැවැන්ත ආර්ථික අර්බුදයක සිටය.

2022 වසර සඳහා ටි්‍රලියන 3.2ක ණයක් දේශීය හා විදේශීය මූල්‍ය වෙළෙඳපොළින් ගැනීමට ආණ්ඩුව සූදානම්ය. මේ තත්ත්වය මත ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමේදී සිය වියදම් සම්බන්ධයෙන් ප්‍රමුඛතාගත කිරීමක් අත්‍යවශ්‍ය වේ. උදාහරණයකට ගියවර අයවැය වසංගත තත්ත්වයක් තුළ ඉදිරිපත් කළ ද ආණ්ඩුව ඒ ගැන සැලකිලිමත් වී තිබුණේ නැත. සාමාන්‍යයෙන් අර්බුදකාරී තත්ත්වයක් තුළ ආණ්ඩුව දියත් නොකරන ඇවිදින මංතීරු වැනි ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කළේ එහෙයිනි. එනිසා පළමු කාර්ය හැටියට මා අපේක්ෂා කරන්නේ වසංගතය නිසා හා වසංගතය හමුවේ ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීන්දු නිසා අසරණභාවයට පත්ව සිටින ජනතාව ජීවත්කරවීම සඳහා අවශ්‍ය මැදිහත්වීමකි. එයින් මා අදහස් කරන්නේ ජනතාවට ජීවන දීමනාවක් ප්‍රදානය නොවේ. රැකියා අහිමි වූ පිරිස ඉලක්ක කරගෙන රැකියා ලබාදීම සඳහා කිසියම් වැඩපිළිවෙලක් සකස් කිරීමය. එය ද රජයේ නොවේ. පෞද්ගලික අංශයේය. මෙමගින් ජීවන මාර්ග අහිමිවූවන්ට ජීවන මාර්ග සැකැසීමක් මෙන්ම අර්බුදයට ගිය ව්‍යාපාරවලට අතදීමක් ද සිදුවේ.


ආනයන පාලන සමග විදේශීය භාණ්ඩ අඩු මිලට වෙළෙඳපොලේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ දේශීය නිෂ්පාදකයන් අධිප්‍රාමාණිකව ලාබ ලබන තත්ත්වයක් නිර්මාණය වීමයි. ඛේදය වන්නේ මේ ලාභ ලැබීම වෙනුවෙන් නැවතත් විශාල මිලක් ගෙවීමට සිදුවන්නේ මේ රටේ මහජනයාට වීමය. එනිසා ආණ්ඩුව කළයුත්තේ මෙසේ අධිප්‍රමාණයෙන් ලාබ ලබන පිරිසෙන් යම් බදු ආදායමක් උපයන වැඩපිළිවෙලක් සැකැසීමය. එසේ ලබාගන්නා බදු මුදල් මහජනයාට යම් සහනයක් සැකැසීමට යොදාගත හැකිය. එහෙත් එය කිසිදු ආකාරයකින් තවත් ජන සවියක් හෝ සමෘද්ධියක් විය යුතු නොවේ.


එහෙත් මේ සියලු අර්බුද මැද්දේ වුවද අප රටක් හැටියට ගෙවීමට නියමිත ණය වෙනස් වන්නේ නැත. එය ඉලක්කමෙන් කිවහොත් 2022 ජුලි 25 වැනිදා වනවිට ඩොලර් මිලියන 1000ක් ගෙවිය යුතුය. එහෙත් ආර්ථික කටයුතු යහපත් අතට නොහැරුණහොත් එය පහසු වැඩක් නොවේ. එසේ වුවහොත් ආණ්ඩුවට සිදුවන්නේ නැවතත් ආනයන පාලනයක් මගින් ඩොලර් ඉතිරිකරගැනීමටය. එය නැවතත් ආණ්ඩුවට එල්ල කරනු ඇත්තේ විශාල තෙරපුමකි. ආනයන සීමා සමග වෙළෙඳපොලේ භාණ්ඩ හිඟයක් නිර්මාණය වූයේ සමගි පෙරමුණු ආණ්ඩු කාලයෙන් පසුව යැයි කීමෙහි වරදක් නැත. එම භාණ්ඩ හිඟය නිසා මහජනයා දැනටමත් සිටින්නේ දැඩි පීඩාවකිනි. එය තවත් උග්‍ර වන තත්ත්වයකට මහජනයා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිදැයි කිව නොහැකිය.


අනෙක් අතට දිගින් දිගටම පනවනු ලබන ආනයන සීමා මගින් දේශීය ආර්ථිකය දුර්වලවීම වැලැක්විය නොහැකිය. එනිසා ආණ්ඩුව දැන්වත් විදේශීය ණය දෙන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කර මේ වළෙන් ගොඩ ඒමට උත්සාහ කළ යුතුය. එහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන සමග සාකච්ඡා කර සංවර්ධන ණය ලබාගන්නා අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල මග පෙන්වීම් ගෙන පවතින අර්බුදයට විසඳුමක් සෙවිය යුතුය. එහෙත් ආණ්ඩුව පැත්තෙන් අප තවමත් දකින්නේ තමන්ට මේ ආර්ථික අර්බුදය තනිවම පාලනය කරගත හැකිය යන මානාධික මානසිකත්වයයි. ආණ්ඩුව එසේ කියන්නේ සාම්ප්‍රදායික උපක්‍රම වෙනුවට ජාතික සම්පත් විදේශයන්ට ආයෝජනයට පැවරීම වැනි අවදානම්සහගත පියවර අත්හදා බලමිනි. ආණ්ඩුව තමන්ට හැකි යැයි සිතා ගන්නා මේ බොහෝ තීන්දු නැවත නිවැරැදි කළ හැකි පන්නයේ ඒවා නොවේ. හම්බන්තොට වරාය චීනයට පැවරීම ඊට කදිම නිදසුනකි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. මෙවැනි පරිසරයකදී සිදුවන්නේ ආයෝජකයන් විවිධ රහස් ගනුදෙනු මගින් සිය අවශ්‍යතා සඳහා ආණ්ඩුව නම්මවාගැනීමට උත්සාහ කිරීමය.

මෙවර අයවැය සම්බන්ධයෙන් අපට පූර්ව විනිශ්චයකට බඳුන් කළ හැකි අපූරු සිදුවීමක් පසුගියදා සිදුවිය. එනම් මුදල් ඇමැතිවරයා අයවැයට පෙර මහනායක හිමිවරුන් බැහැදැකීමය. අප දන්නා දේශපාලන හා පාර්ලිමේන්තු ඉතිහාසයට අනුව මුදල් ඇමැතිවරයකු සිය අයවැය මහජනයාට ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුව හරහාය. අප දුටු ඒ ඉතිහාසයේදී කවරදාකවත් මුදල් ඇමැතිවරයා අයවැයට පෙර ආගමික නායකයන් හමුවීමේ සම්ප්‍රදායක් තිබුණේ නැත. මෙය මා දකින ආකාරයට නම් වැරැදි නරක පූර්වාදර්ශයකි. ආගමික නායකත්වයක් හරහා රාජ්‍ය මූල්‍ය පාලනය හා රටේ ආර්ථික ප්‍රතිපත්ති මහජනයා මත පැටවීමට උත්සාහ කිරීමකි. ලෞකික ජනයා සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ගේ ආයතනයෙන් ගත යුතු තීන්දුවට ලෝකෝත්තර වර්ණ ගැන්වීමට උත්සාහ දැරීමකි. මෙවැනි සම්ප්‍රදා අලුතින් පිහිටුවීම සමාජයක ඉදිරිගාමීත්වයට කිසිසේත් පෑහෙන්නේ නැත.

එක් ආගමික නායකයකුගේ ආශිර්වාදය ලබාගැනීමට උත්සාහ කරන විට අනෙක් ආගමික නායක කණ්ඩායම් සිතන්නේ මුදල් ඇමැතිවරයා අප ලගට නොඑන්නේ මන්ද කියාය. මෙයින් සිදුවන්නේ අනවශ්‍ය ධූරාවලියක් නිර්මාණය කිරීමයි. තනිකරම දේශපාලන වාසි වෙනුවෙන් සිදුවන මෙවැනි දේ මගින් රටක ආර්ථිකයට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට ද වැඩක් සිදුවන්නේ නැත. අඩුම තරමින් අයවැය සම්බන්ධයෙන් යම් අදහසක් දැනගැනීමට වුවමනා වී නම් ජාතික ආර්ථික සභාවක් වැනි ව්‍යුහයක් ඊට යොදාගැනීම දේශපාලනික ද ආර්ථික විද්‍යාත්මක ද වේ. ආණ්ඩුකරයට වුව අදාළ වේ. ආණ්ඩුව පැත්තෙන් නම් දැනට කියන්නේ අයවැයෙන් පුදුම හිතෙන වැඩක් විය හැකිය වැනි කතාය. එහෙත් අප දන්නා, අපට පෙනෙන යථාර්ථයට අනුව නම් එවැනි මැජික් පහනක් පිරිමැදීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නැත.

මේ ආණ්ඩුව බලයට පත් වූ පසුව ගත් එක් ප්‍රතිපත්තිමය තීන්දුවක් වූයේ තමන් බලයට පත්කිරීම සඳහා දරදිය ඇද්ද වෘත්තිකයන්ගේ ඉල්ලීම් පරිදි උපයන විට ගෙවන බද්ද සීමා මායිම් වෙනස් කිරීමය. මේ නිසා උපයන විට ගෙවන බද්දේ ආදායම් මට්ටම් ඉහළ දැමිණි. එහි ප්‍රතිඵලය වූයේ සැලකිය යුතු පිරිසක් බදු ගෙවීමෙන් නිදහස් වීමය. එහි අනිටු ඵලය වූයේ මේ රටේ සාමාන්‍ය ජනයාට දුක් මහන්සියෙන් උපයන ආදායමෙන් වක්‍ර බදු ලෙස විශාල මුදලක් එදිනෙදා ජීවිතයේදී ගෙවන්නට ද සිදුවීමය. එනිසා මා සිතන්නේ මේ අයවැයේදී උපයන විට බදු ගෙවීම නැවත පෙර පැවැති මට්ටමට ගෙනයාමට ආණ්ඩුව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවය. උදා වී ඇති තත්ත්වය තුළ වක්‍ර බදු ප්‍රමාණය වැඩි කර සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට නොහැකිය. ඔවුන් මේ වනවිට ගෙවන්නේ අන්ත දුක්ඛිත ජීවිතය. එනිසා මා ආරම්භයේම කී පරිදි අධිප්‍රාමාණික ලාබ ලබන දේශීය ව්‍යාපාර හා වෘත්තිකයන් ඉලක්ක කරගෙන බදු පැනවීමෙන් ආණ්ඩුව ආදායමක් උපයාගත යුතු අතර ඒවා සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කිරීමට ආයෝජනය කළ යුතුය. එහෙත් ආණ්ඩුව මෙම වෙනස්කම් නොකළහොත් විශාල ආදායම් පරතරයක් සමාජය තුළ ඇතිවීම නොවැලැක්විය හැකිය. එමෙන්ම එම පරිසරය තනිකරම මහජනයා කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් ද වනු ඇත.


සටහන – බිඟුන් මේනක ගමගේ