දේශපාලනඥයන්ගේ ලිපි නිසා  පොලිස් ස්ථාන පන්සියයෙන් භාගයකම මුල් පුටු හිස්

රට පුරා ඇති පොලිස් ස්ථාන පන්සීයකට වැඩි ප්‍රමාණයෙන් හරි අඩකට ආසන්න ගණනකට ස්ථිර ස්ථානාධිපතිවරුන් නොමැතිවීමෙන් නීතිය හා සාමය පවත්වා ගෙන යාමේදී ගැටලු මතු වී තිබේ.

පුරප්පාඩු වී ඇති ස්ථානාධිපති තනතුරු පත් කිරීම සඳහා දේශපාලනඥයන්ගේ නිර්දේශ ලිපි හේතුවෙන් සුදුස්සන් එම ස්ථානවලට පත් කිරීමට නොහැකි වී ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.

පුරප්පාඩු වී ඇති ස්ථානාධිපති තනතුරු පත් කිරීම සඳහා දේශපාලනඥයන්ගේ නිර්දේශ ලිපි හේතුවෙන් සුදුස්සන් එම ස්ථානවලට පත් කිරීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය නිසා වැඩ බලන නිලධාරීන් වශයෙන් ගෙන කටයුතු නොකිරීමෙන් අපරාධ වැඩිවීමට හේතුවී ඇති බවය.

කෙසේ වෙතත් එකම ස්ථානයකට නිලධාරීන් කිහිප දෙනකුට ආසන සංවිධායකගේ හා දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරුන්ගේ ලිපි ලබා දීම නිසා මෙම ගැටලුවට මුහුණ පා ඇත.

ඇතැම් ආසන සංවිධායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අතර තවත් අය එවැනි තනතුරක් නොදරයි. එහෙත් දිස්ත්‍රික් නායක තනතුර දරන අය ඇමැති ධුර දරන නිසා ඉන් බලවත් කවුරුන්ද යන්න ගැටලුව නිසා සුදුස්සන් පත් කිරීමේදී නිලධාරීන් දැඩි ගැටලුවකට මුහුණ පා තිබේ. ඊට අමතරව සිය හිතවතුන් එම තනතුරුවලට පත් කරන ලෙස ඉල්ලා දිනකට ඉහළ නිලධාරීන්ට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක්ද ලැබෙන බවත් වාර්තා කර ඇත.

මීට මාසයකට පමණ පෙර එකම වර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙසිය තිහකට ආසන්න පිරිසක් එකවර සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් කිරීම නිසා එම පුරප්පාඩු ඇති වී තිබේ.

මේ වන විට අලුතෙන් රට පුරා පොලිස් ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක්ද විවෘත කර ඇති අතර ඊටද සුදුසුකම් ලත් ස්ථිර ස්ථානාධිපතිවරුන් පත් කර නොමැත. ඒ අනුව පොලිස් ස්ථාන දෙසිය පහළොවකට ආසන්න ප්‍රමාණයකට ස්ථානාධිපතිවරුන් පුරප්පාඩු වී ඇති බවය.

ඊට අමතරව එක් ස්ථානයක උපරිම වසර තුනක් සඳහා ස්ථානාධිපතිවරුන් පත් කරන අතර ඇතැම් ස්ථානාධිපතිවරුන් වසර පහකට අඩු වැඩි කාලයක් සේවය කරන නිලධාරීන්ද සිටින බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් අරුණ පුවත්පත  කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනට පොලිස් ස්ථාන අනූහතරක පමණක් වැඩ බලන ස්ථානාධිපතිවරුන් කටයුතු කරන අතර එම ස්ථානවලටද ස්ථානාධිපතිවරුන් පත් කරමින් සිටින බවයි. අලුතින් පොලිස් ස්ථාන 77ක් විවෘත කර ඇති අතර එම ස්ථාන ගැසට් කරන අවස්ථාවේදීම ස්ථිර ස්ථානාධිපතිවරුන් පත් කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.