ගෝඨා උමතුවෙන් වාගේ කරපු සම්පූර්ණ කතාව! ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලන්න පුළුවන්ලු!

මම පිළිගන්නවා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්. ඔබ ආවේ අපේ ගමට. ගරු අගමැතිතුමා, වාරිමාර්ග ඇමතිතුමා, ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු හැමෝම මේ ගමෙන් ආපු අය. ඒ නිසයි ගැමි පරිසරයක් මෙහේ දකින්න පුළුවන්. ඒ නිසයි අපි පරිසරයට කැමති. ඒ නිසයි අපි හඳුනාගන්නේ සම්බන්ධයේ වැදගත්කම. ඒ නිසයි අපි දේශගුණ විපර්යාසය ගැන කතා කරන්නේ. ඒ නිසයි අපි හරිත කෘෂිකර්මය ගැන කතා කරන්නේ. මේ ගමෙන් ආපු නිසා.

ගරුතර ස්වාමීන් වහන්ස, මම පාරවල් ලක්ෂයේ වැඩසටහනට මුල් ගල තිබ්බා. මේ වසරක් අවසානයේදී අපි පාරවල් එක්දාස් පන්සීයක් අවසාන කරලා ඒ අවසාන කරපු අවස්ථාව අද. මේ කාලය ඇතුළත විශාල බාධක මැද්දේ අපි රට සම්පූර්ණයෙන්ව වහලා තිබුණා කීප වතාවක්. මම දන්නවා කොන්ත්‍රාත්කරුවන්ට කොච්චර අපහසු වුණාද ඒ වැඩ කරන අයව ගෙන්වා ගන්න, කොවිඩ් ප්‍රශ්නය නිසා. නමුත් ඒ බාධක මැද්දේ පාරවල් එක්දාස් පන්සීයක් අවසන් කිරීම පිළිබඳ මම ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

අද මා විවේචනය කරන කොට්ඨාශ දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්.

එකක් හාමුදුරුවනේ මෙන්න මේ පසුගිය වසර දෙක ගැන අවබෝධයක් නැති කොටස. ඔවුන් හිතන්නේ මේ පසුගිය අවුරුදු වසර දෙක සාමාන්‍ය තත්වයේ වසර දෙකක් කියලා. නමුත් මට පමණක් නෙවෙයි, මුළු ලෝකයේම නායකයන්ට මුහුණ දුන්න විශාල අභියෝගයක් තිබෙන කොවිඩ් වසංගතය පැතිරුණු අවුරුදු දෙකක්.

 අනෙක් කොටස තමයි ඒ අය මගෙන් ඉල්ලුවේ විප්ලවීය වෙනස. හැබැයි ඉතින් මේ වෙනස කරන්න ගියාම බොහෝ දෙනෙකුට රිදෙනවා. මෙන්න මේ රිදෙන කොටස තමයි මේ විවේචනය කරන්නේ. විශේෂයෙන්ම මම පත් වුණේ නොවැම්බර් මාසයේ 19 වැනිදා. දෙසැම්බර් මාසය වන විට චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් වසංගතය පත් වුණා. එදා ලෝකයේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ මොකක්ද මේ වසංගතය, මේකට අපි මුහුණ දෙන්නේ කොහොමද? එන්නතක් නැහැ.

එවැනි තත්වයක් යටතේ තමයි වූහාන් නගරයේ ඉගෙන ගත්ත ළමයි 34 දෙනෙක් ලංකාවට අපට ගේන්න සිද්ධ වුණේ. ඔබ වහන්සේලාට මතක නම් අපි විශේෂ ගුවන් යානයක් යවලා, අර ආරක්ෂිත ඇඳුම් හැම එක්කෙනෙක්ම ඇඳගෙන මත්තලට ගෙනල්ලා, එතැනින් විශේෂ ආරක්ෂාව යටතේ දියතලාවට ගෙනියලා හමුදා කඳවුරේ වෙනම ස්ථානයක් හදලා නිරෝධායනය කළා.

එදා ඉඳලා, අපි නිරෝධායනය ආරම්භ කරලා මැද පෙරදිග වැඩ කරපු ජනතාව එක්ලක්ෂ පණස්දාහකට අධික සංඛ්‍යාවක් ලංකාවට ගෙනල්ලා ඒගොල්ලන් නිරෝධායනය කරලා. මේ රට දස වතාවකට වඩා වහන්න සිද්ධ වුණා. ගිය වසරේ එක දිගට මාස දෙකහමාරක් වහලා තිබුණා. මෙවැනි තත්වයක් යටතේ අපට ආර්ථික වර්ධනයක් කරන්න පුළුවන්ද?

මේ තත්වය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් අවබෝධයක් ඇතිවෙන්නට ඉඩ දෙන්නේ නෑ. එවැනි තත්වයක් යටතේ තමයි පහුගිය අවුරුදු දෙක පාලනය කළේ. කොහේ හරි කොවිඩ් රෝගීන් හම්බ වුණොත් ඔබතුමන්ලා දන්නවා වෛද්‍යවරුන්, විශේෂඥයන් රූපවාහිනියේ ඇවිල්ලා කිව්වා වහාම රට වහන්න. නැත්නම් මේක විනාශයක් වෙයි. එවැනි අවස්ථා කොපමණ තිබුණාද? රට ඇරලා තිබුණාම විපක්ෂය කෑගහනවා රට වහන්න. රට වහනකොට විපක්ෂය කෑගහනවා රට අරින්න.

මෙවැනි තත්වයක් යටතේ. ජොන්ස්ටන් ඇමතිතුමා විස්තර කළා තිබුණ ආර්ථික තත්වය අපට රට බාර දෙන වෙලාවේ.

කොවිඩ් වසංගතය නිසා ‘හාමුදුරුවනේ’ මේ රටේ ඩොලර් බිලියන 5ක විදේශ විනිමයක් ගෙනාපු සංචාරක අංශය සම්පූර්ණයෙන්ම බිංදුවට වැටුණා. අප වැනි කුඩා ආර්ථිකයක් තියෙන රටක ඩොලර් බිලියන 5ක් නැති වුණාම කොපමණ බලපෑමක් ආර්ථිකයට ඇති වෙනවාද කියලා. එපමණක් නෙවෙයි, මිලියන 3කටත්, 4කටත් ප්‍රමාණයක් සංචාරක කර්මාන්තයෙන් යැපුණා. ඉහළම මට්ටමේ හෝටල්වල ඉඳලා තැඹිලි ගෙඩිය විකුණන මිනිහා දක්වා මිලියන ගණනක ප්‍රමාණයක් වැටුණා. ඒකෙන් ආදායම සම්පූර්ණයෙන් වැටුණා.

රට වහනකොට කුඩා කඩයක් කරන ව්‍යාපාරිකයාගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා දක්වා ආර්ථිකය කඩා වැටෙනවා. මෙන්න මෙවැනි තත්වයක් යටතේ අපි මුල් කාලයේදී මේ ඇඟලුම් කර්මාන්ත වහපු නිසා අපේ අපනයන ආදායම නැති වෙලා ගියා. දැන් අප ඒක නැවත හදාගෙන තියෙනවා. ඒ වගේම ලක්ෂ 2කට පමණ ආසන්න මැද පෙරදිග වැඩ කරපු ජනතාව. ඒ අයගේ රැකියා නැති වෙලා. මොකද ඒ රටවල ආර්ථිකය කඩා වැටුණ නිසා ඒ රැකියා නැති වුණා. ඒ අයව ලංකාවට ගෙනාවා. ඒ අයගෙන් මෙරටට ආපු මුදල් අපට නැති වුණා.

මේ වගේ ආර්ථිකය වැටුණත්, අපට ඉස්සෙල්ලා ආණ්ඩු විසින් ගත්ත ණය අවුරුද්දකට අපට ඩොලර් බිලියන 4ක් ආපහු ගෙවන්නට සිද්ධ වුණා හැම අවුරුද්දේම. මේ අවුරුදු දෙක තුළත් ඒක ගෙව්වා.

ඊටත් අමතරව සවරින් බොන්ඩ්ස්, එහෙම නැත්නම් ස්වෛරී බැඳුම්කර. මේවාගේ පොළිය අපට ඩොලර් බිලියන 1.5ක් ගෙවන්නට ඕනෑ. මෙපමණ මුදල් ප්‍රමාණයක් ගෙවන්නට තිබුණා. ඒවාත් ගෙව්වා. පසුගිය ආණ්ඩුව බාර දුන්නේ සුළු සංචිතයක්. ඔබ වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් කොවිඩ් වසංගතය නිසා නැති වුණ විදේශ විනිමය. ඒ වගේම ගෙවන්න තිබුණ ණය. මේවා එක්ක බැලුවාම කොච්චර කුඩා ආර්ථිකයක්ද ගෙනියන්න තිබුණේ කියන එක ජනතාව තේරුම් ගන්න ඕනෑ.

මේවා තිබුණා කියලා. රාජ්‍ය සේවකයා ගෙදර තිබ්බා. දුරස්ථ වැඩ කිරීම් කළා. හැබැයි ඒ අයගේ පඩි අපි කැපුවේ නෑ. ගුරු භවතුන් ගෙදර හිටියා අවුරුදු දෙකක්. ඒත් අපි ඔවුන්ගේ පඩි ගෙව්වා.

වහන හැම දවසකම අපි කොවිඩ් හැදෙන සෑම පවුලකටම මුදල් ලබා දුන්නා. මෙන්න මේ වගේ අසීරු තත්වයක් යටතේ වුණත් අපි තේරුම් ගත්තා ජනතාව ජීවත් කරවන්නට ඕනෑ කියන එක. අපි අද ගොවි මහත්තුරු කියලා මම දන්නේ නෑ ඇත්තටම ගොවි මහත්තුරුද කියලා. උද්ඝෝෂණ කරනවා. නමුත් කවුද අපි ගොවියාව බලා ගත්තේ මොන ආණ්ඩුවද? මම බලයට එනකොට මම දැක්කා පහුගිය වීඩියෝස්. වී රුපියල් 25ට විකුණගන්න බැරිව හිටියා. විසිපහට.

ගොවි මහත්තයෙක් කියනවා ප්‍රවෘත්තිවල අපට අඩු ගාණේ රුපියල් 40ක් දෙන්න. එදා පොහොරවලට මුදල් ගෙව්වා. මම ඇවිල්ලා ඒ පොහොර නිකම් දුන්නා. විසිපහට විකුණා ගන්න බැරි වී වලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා. අද හැටට, හැත්තෑවට අසූවට විකුණනවා. කමක් නෑ ඒක ගොවියාට යන්නේ.

අවුරුදු දෙකක් අපි රසායනික පොහොර නිකම් දුන්නා. අපි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටනවලක්ෂයක් තමුන්නාන්සේලා මට ඡන්දය දුන්නේ මගේ මූණට නෙවෙයි. මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිවලට. ඒ ප්‍රතිපත්තිවල පැහැදිලිව ප්‍රකාශ කළා අපි හරිත කෘෂිකර්මාන්තයකට යනවා කියන එක. අපි පැහැදිලිවම කිව්වා කාබනික පොහොර නිෂ්පාදනය කරනවා මේ රටේ කියලා.

අපි කිව්වා වස විසෙන්තොර කෑම දෙනවා කියලා. ආහාර සුරක්ෂිතතාවය කියන්නේ, මම දැක්කේ විශේෂඥයෝ කියලා රූපවාහිනියේ ඇවිල්ලා අද කතා කරනවා ආහාර සුරක්ෂිතතාවය ගැන. වසවිස ආහාර දෙන එක නෙවෙයි ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දෙන එකයි. ඒක අපි පොරොන්දු වුණා. ඒක විශාල අමාරු කාර්යයක්. ඒක තමයි අපි කීවේ විප්ලවීය වෙනසක් ඉල්ලුවේ. හැබැයි වෙනස කරන එක අමාරුයි.

මට අවශ්‍ය නෑ ගොවි ජනතාවට විශාල අපහසුතාවක් ඇති කරන්නට. මට අවශ්‍ය නෑ ගොවි ජනතාවට බලෙන් මේ කාබනික පොහොරවලට යන්න. නමුත් මම කළේ හරි දේ. පොරොන්දු වෙච්ච දේ. සමහර අය කියනවා අපි බලාපොරොත්තු වුණේ මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ ගොවි මහත්තයාට කාබනික පොහොර භාවිතා කරන්න කීවාම මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා, හමුදාව යොදලා පාවිච්චි කරපන් කියලා කියන්න. මට එහෙම අවශ්‍යතාවක් නෑ.

සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. ඒ අයම කිව්වා අයියෝ අපි බලාපොරොත්තු වෙන්නේ ඔහොම කෙනෙක් නෙවෙයි. හමුදාවේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට එහෙම කරන්න. ඒත් අපි දන්නවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි දන්නවා බොරු චෝදනා නගලා අදත් අපි රටක් හැටියට ජිනීවාවලට යනවා මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා. මට එහෙම කරන්න ඕන්නෑ අපේ රටට.

නමුත්, මම පොරොන්දු වෙච්ච විප්ලවීය වෙනස. අපි කතා කළා පුනර්ජනනීය. අපට තෙල් නෑ. ගල් අඟුරු නෑ. අපට ගෑස් නෑ. නමුත් අපට තියෙනවා හිරු එළිය. අපට තියෙනවා වතුර. අපට තියෙනවා සුළඟ. අපට මේ තුනෙන්ම විදුලිය ජනනය කරන්නට පුළුවන්. ඒකයි අපි සෞභාග්‍යයේ දැක්මේ කියලා තියෙන්නේ. ඒකට කරන්න ගියාමත් විශාල විරෝධය.

මේවා තමයි අපි රටක් හැටියට කරන්න පොරොන්දු වුණේ. මේවා අමාරු දේවල්. එදා අපි දැක්කා වීඩියෝ. ජනාධිපති එදා යහපාලනය යටතේ, ජනාධිපතිතුමා අගමැතිතුමා යනකොට විශාල කාර් ප්‍රමාණයක් යනවා පාරවල් වහලා. ඇම්බියුලන්ස් යනවා. ෆයර් බ්‍රිගේඩ් එකත් යනවා. නමුත් මම ඒවා නැති කළා. දැන් මගේ යන්නේ ආරක්ෂක වාහන දෙකයි.

ඇත්තටම ඇමෙරිකාවේ මම ගිය වෙලාවේ මගේ පිටිපස්සෙන් වාහන 15ක් ආවා. ග්ලාස්ගෝවලත් ඒ වගේ. මෙහේ යන්න ඕනෑ නෑ ඒ වගේ. එහෙම යන්නෑ. මම එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ගිහිල්ලා හිටියේ සාමාන්‍ය හෝටලයක. භාර්යාව මාත් එක්ක ගියා මම එයාගේ ටිකට් එකට සල්ලි ගෙව්වා. මාත් එක්ක හත්දෙනයි ගියේ. මට කිව්වා ඒකේ වැඩ කරපු අපේ… ඉස්සෙල්ලා ජනාධිපතිතුමා නම් මෙන්න මෙහෙම ගෙනාවා. හොඳ හෝටලයේ හිටියා. ඇයි ඔබතුමා මෙතැන ඉන්නේ. ආවානේ මාධ්‍යයෙන් ආවා. කට්ටිය ආවා. ඇයි ඔබතුමා ඒ කට්ටිය ගෙන්නුවේ නැත්තේ.

මම එහෙම කළේ නෑ. ඒක තමයි වෙනසක් කරන්න ඕනෑ. මාත් එක්ක මගේ ඥාතීනුත් ගියා නම්. හැබැයි ඒ අයත් ගෙනිච්චේ නැති වුණාම ඒගොල්ලොත් අයියෝ අපේ මාමා ජනාධිපති වැඩක් තියෙනවායැ. අපට යන්නවත් නෑ. ඒකයි වෙනස.

මම ඇමතිතුමන්ලාට කිව්වා ඥාතීන්ව දාගන්න එපා කියලා. එක සම්බන්ධීකරණ නිලධාරියෙක්. ඇමතිතුමාට වැඩ කරපු අනෙක් අය අහනවා ඇමතිතුමාගෙන්. වැඩක් තියෙනවායැ අපි ආණ්ඩුවක් ගෙනාවා. සම්බන්ධීකරණ නිලධාරියෙක්වත් නෑ.

ඒක තමයි වෙනස.

මටත් අර රජගෙදරක් තියෙනවා. ඒක බොහොම විශාලයි. ඒකේ ඉන්න අමාරුයි. වැඩක් නෑ. අපරාදේ අර ලයිට් පිච්චෙනවා. මම ඉන්නේ අර හිටපු ගෙදරමයි. ඇත්තමයි සමහර අය අහනවා මේකෙද ඉන්නේ. යන්නකෝ අර රජගෙදරක් තියෙන්නේ.

ඒකයි වෙනස.

බලන්න හාමුදුරුවනේ. මම අර අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිකම ලබා දුන්නා. ඔව් උන්නාන්සේ අපව බලයට ගේන්න වැඩ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලා උන්නාන්සේ වැඩ කළා. ඒක ඇත්ත. හැබැයි පසුගිය කාලයේ යම් යම් හේතු හින්දා උන්නාන්සේ යම් අපට විරුද්ධව කතා කළොත් මේ විජේදාස රාජපක්ෂ මැතිතුමා ගියා උපදෙස් ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ගියා උපදෙස් ගන්න. රනිල් වික්‍රමසිංහ ගියා උපදෙස් ගන්න. අර ස්ටාලින්ද කවුද කියන එක්කෙනා ගියා උපදෙස් ගන්න. මහින්ද ජයසිංහ ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්නාන්සේ ගාවට.

උන්නාන්සේ කුලපති කළාම. එයා සුදුසු නෑ. හහ් හහ්.. ඔක්කොම ගිහිල්ලා උපදෙස් ගත්තේ එතැන. දැන් මං මීට ඉස්සෙලලත් කිව්වා, මම රුවන්වැලිසෑය වඳින්න යනකොට ස්වාමීන් වහන්සේ නමක් කීවා. කෝ ජනාධිපතිතුමා අර එක රට එක නීතිය. මම කිව්වා හරි අපි ඒක ලබා දෙන්නම් හාමුදුරුවනේ. අවුරුදු දෙකක් ගියා. මම කැබිනට් එකේත් කිව්වා. මේ සිද්ධිය වුණා කරන්නට ඕනෑ. මේක සංකල්පයක්. හැබැයි ඥාණසාර හාමුදුරුවෝ අද විවේචනය කරනවා උන්වහන්සේ පත් කළයි කියලා. මම දන්නවා අවුරුදු පහක් තිස්සේ උන්වහන්සේ තමයි එක රටක් එක නීතියක් කියන සංකල්පය ගැන කතා කළේ.

මං උන්නාන්සේට කතා කරලා කිව්වා ඔබ වහන්සේ මේක ගැන අවුරුදු පහක් කතා කළානේ. ඔබ වහන්සේ මට හදලා දෙන්න මේ සංකල්පය. ඔබ වහන්සේ හදලා දුන්නාම මම දෙන්නම් අධිකරණ ඇමතිතුමාට. අඩුපාඩු තියෙනවා නම්  හදලා දීලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකයි මට අවශ්‍ය. ඒකටත් දෝෂාරෝපණය කරනවා.

මෙන්න මේ වගේ විපක්ෂය අද බලන්න. අද මුං ඇටවලට කීයක් හම්බ වෙනවාද? මම ආපු ගමන්ම පිටරටින් එන මුං ඇට, කව්පි, උඳු වගේ 16ක් අයින් කළා. අද කීයක් හම්බවෙනවාද ගොවියාට. 450ක්. ගම්මිරිස්වලට කීයක් හම්බ වෙනවාද, අපේ ජානක වක්කුඹුර ඇමතිතුමා ඇතිනේ. ගම්මිරිස් කීයද අද? බලන්න. කුරුඳුවලට කීයක් හම්බ වෙනවාද. දෙගුණයකටත් වඩා.

දැන් බලන්න. මම කහ සම්පූර්ණයෙන් නැවතුණා. කහවලින් ස්වයංපෝෂිතයි. කහවලට කීයක් හම්බ වෙනවාද? ඉඟුරුවලට කීයක් හම්බවෙනවාද?

ගොවියාට වැඩි මුදලක් හම්බ වෙනකොට, පාරිභෝගිකයාට වැඩි වෙනවා ඇත්ත. එහෙම නම් අපි ගොවියාගේ ආදායම අඩු කරන්නට බෑ. අපේ යුතුකම ගොවියා බලා ගන්න එක. අපි ඒකයි කරලා තියෙන්නේ. අපි පාරිභෝගිකයාට ඒ වෙනුවෙන් සහන දෙන්නට ඕන. ඒකයි ක්‍රමවේදය.

දැන් අපි විපක්ෂය කතා කරනකොට ගොවියාට ලැබෙන ප්‍රමාණය ගැන කතා කරන්නේ නෑ. අර වෙළඳපොළේ මිල ගැන තමයි කතා කරන්නේ. ඔව්.ගොවියාට රුපියල් 50ට නාඩු ගත්තොත් හාල් කිලෝවක් දෙන්න පුළුවන් 96ට හෝ 98ට. ඒත් 60, 70 වෙනකොට සහල් මිලත් ඒ ආකාරයෙන්ම වැඩි වෙනවා. ගොවියාට අවශ්‍ය නෑ පාලනයක් කරන්න. අපි කැමතියි ගොවියාට යනවා නම්. අතරමැදියාට නෙවෙයි. පාරිභෝගිකයාට යම් සහනයක් දෙන්නම් ඒ වෙනුවෙන්.

අපි සෞභාග්‍යයේ දැක්මේ ඉදිරිපත් කර තිබෙන ඒ විප්ලවීය වෙනස කරනවා. මම බලයට පත් වුණ වෙලාවේ තරුණයන් ඉදිරියට ඇවිල්ලා තාප්පවල චිත්‍ර ඇන්දා. පුරන් වෙලා තිබුණ කුඹුරු වගා කළා. මම ඔවුන්ට නැවත ආරාධනය කරනවා මේ රජය අපිව විශ්වාස කරලා නැවතත් ඉදිරියට එන්න. මේ කුඹුරු ගොවිතැන් කරන්න. බය වෙන්නට එපා. මේක විශාල වෙනසක්. එකපිටම පොහොර වෙනස් කිරීම. අපි බලමු. අපට පුළුවන් නම් මේක කරන්න, අපේ රටේ ව්‍යවසායකයන් ඇති කරන්නට පුළුවන්. පර්යේෂණ කරන්නට පුළුවන්. අපට කියන්න පුළුවන් ලෝකයේ පළවැනි රට මේක කරපු. අපට වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගන්නට පුළුවන්. ආහාර පිටරට යවලා විදේශ විනිමය ලබන්නට පුළුවන්. මේක අභියෝගයක්.

හැබැයි අපි බලමු. මේක පර්යේෂණයක්. මං තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. ගොවි මහත්තුරුන්ගෙන්. අපි වගා කරමු. බලමු. මම පොරොන්දු වෙනවා. අපි ඉල්ලපු විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදු කරනවා කියන බලාපොරොත්තුව දෙමින් මම නතර වෙනවා ස්තූතියි.