සිරිල් ගාමිණී පියතුමා CIDයට නොඑන බව දන්වලා!

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය නොහැකි බව පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.

නොවැම්බර් 03 දින පෙරවරු 9.30 ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස ඒ හිමියන්ට දැනුම්දී තිබුණි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පසුගිය මස 23 වනදා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී සිදු කළ ප්‍රකාශයක් මුල්කරගෙන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කර තිබිණ.

එම පැමිණිල්ල මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ හිමියන්ට දැනුම්දී තිබුණේ, 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තුන එක සහ තුන දෙක වගන්ති අනුවත් දණ්ඩ නීති සංග්‍රහයේ තවත් වගන්ති කිහිපයක් අනුවත් විමර්ශනයක් සිදුවන බවයි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔක්තෝම්බර් 28 වනදා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට දැනුම්දී තිබූ අතර ඒ සඳහා උන්වහන්සේ සතියක කාලයක් ඉල්ලා තිබිණ.

ඒ අනුව අද පෙරවරු 9.30 ට නැවත පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ අතර ඊට පිළිතුරු ලෙස නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් යවමින් ඒ හිමියන් දැනුම්දී ඇත්තේ මීට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර ඉදිරි දිනවලදී එය විමසා බැලීමට නියමිත බවය.

එබැවින් ඒ හිමියන්ට අදාල දිනයේ පැමිණිය නොහැකි බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් නොවැම්බර් 02 දින  ශ්‍රේෂ්ඨාධිකණයේ පෙත්සමක් ගොනු කර තිබුණු අතර එම  පෙත්සමෙන් ඒ  හිමියන් ඉල්ලා ඇත්තේ  තමන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර එහිදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවය.

පෙත්සම විභාග කර අවසන් කරන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා ඇත.