‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය විසුරුවා හරින්න බල කරන්න – මුස්ලිම් දෙමළ පක්ෂ උතුරේ සාකච්ඡාවක්

ජාතීන් අතර වෛරය අවුළුවා ලීම සම්බන්ධයෙන් ප්‍රකට බෞද්ධ භික්ෂුවක් යටතේ ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය විසුරුවා හරින ලෙස බලපෑම් කිරීමට විපක්ෂයේ දෙමළ සහ මුස්ලිම් පක්ෂ කිහිපයක් එකඟතාවකට පැමිණ ඇත.

ගලබොඩඅත්තේ ඥාණසාර හිමිගේ  සභාපතිත්වයෙන්  යුත් “එක රටක්-එක නීතියක්” නමින් පිහිට වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නිසා ලාංකීය ජනතාව අතර ඇති යම් සංහිඳියාවක්, එකමුතුකමක් වේනම් එය මුළුමනින්ම විනාශ වී යා හැකි බවට මෙම සාකච්ඡාවේදී කතාබහට ලක් වී ඇත.

එම පක්ෂ තව දුරටත් එකඟ වී ඇති ප්‍රධාන ඉල්ලීම් වන්නේ බලය විමධ්‍යගත කිරීම සඳහා වන 13 වැනි ව්‍යවස්ථාව මුළුමනින් ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කොට ඒ යටතේ රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම සහ උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය අත් හිටුවීමයි.

දෙමළ-මුස්ලිම් පක්ෂ එකතුවේ  ඉල්ලීම් දිනාගැනීම සඳහා දකුණේ ප්‍රගතිශීලී පක්ෂ ද හවුල් කරගැනීමට තීරණය කර ඇත.

දෙමළ ප්‍රගතිශීලි පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්,  ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන්,  ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, උතුරේ හිටපු මහ ඇමැති සී. වී විග්නේස්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික පක්ෂයේ මහාචාර්ය වී.පී සිවනාදන්  සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන් ශ්‍රීකාන්තා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව ඇත.