කබ්රාල්ලාගේ අනාවැකි බොරු- ඩොලර් අර්බුදයෙන් තවත් ගෑස් හිඟයක්ලු

වෙළඳපොළේ ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් වර්ග දෙකේම හිඟයක් තියෙන බව වාර්තා වෙනවා. මිනිසුන් ගෑස් ලබාගැනීම සඳහා නැවතත් පෝළිම්වලට යොමු වෙන තත්වයක් තිබෙන බව කියනවා.

මෙයට හේතුව බව කියන්නේ ඩොලර් හිඟය හේතුවෙන් ලංකාවට ගෑස් ගෙන්වීමට බැංකුවලින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වීමලු. ඒ අනුව විදේශ රටවල වෙළඳ ගිවිසුම්වලින් අවුරුද්ද ඉවර වෙද්දී අර්බුදය නිමවෙනු ඇතැයි කී අනාවැකි බොරු.

මේ ගැන ලංකාදීප පුවත්පතේ යොහාන් බාසුර මාධ්‍යවේදියා කරපු විමසීමකදී ලාෆ් ගෑස් සමාගමේ  සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය කියා තිබුණේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද් තිනකට ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළඳපොළට සපයන බවත්. බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් තියෙන බවත් ඔහු කියලා. ණයවර ලිපියක් හෙවත් එල්සී එකක් විවෘත කිරීමටත් බැංකු ඉදිරිපිට වැඳ වැටීමට සිදු වෙන බව වෑගපිටිය මහතා කියලා.

කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරියෙක් කියා තිබුණේ තමන්ගේ ගෑස් සැපයුම සාමාන්‍ය වුණත්, ලාෆ් ගෑස් හිඟය හින්දා ලිට්‍රෝ ගෑස් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙලා කියලයි.