බැසිල්ට විතරක් ගහන්නේ ඇයි?  විමල්-යුගදනවි ගැන වැදගත්ම කරුණු 10ක්

විමල් වීරවංශලා ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක් එල්ල කරපු බව මීඩියාවලින් ප්‍රචාරය කළත්, මිනිසුන් ඕක බොරු රඟපෑමක් කියන තැනින් විමල් වීරවංශලාව ප්‍රතික්ෂේප කරන බව පැහැදිලිව පේනවා. එවැනි පසුබිමක අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ විමල් පිළයි-යුගදනවි ගිවිසුමයි ගැන වැදගත්ම කරුණු 10ක්.

මේකට අපි පදනම් කරගන්නේ ඔක්තෝබර් 28 වැනිදා අරලියගහ මන්දිරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණ සාකච්ඡාවක් සහ 29 වැනිදා විමල් වීරවංශලාගේ මහජන සම්මන්ත්‍රණයේදී කීව කරුණු.

  • හෘදය සාක්ෂියේ බොරුව

‘හෘදසාක්ෂිය තඩි ගලකට ගැට ගහලා වතුරෙ ඔබාගෙන ඉන්න අපට බැහැ.’ විමල් වීරවංශ කිව්වා. ඉතින්, ඔය වගේ කතන්දර අහලා සමහරු හිතේ හැටියට හිනා වුණා. තව සමහරුන් කේන්තියට විමල්ලාට බැන්නා.

ඔව්, අපට ඔය කිසි සටනක් විශ්වාස නෑ. අපට ඔය කට්ටියත් විශ්වාස නෑ. ඔයාලාගේ හෘදය සාක්ෂිය කාලෙකට මතු වෙනවා. කාලෙකට යට යනවා. චීනා අපව වඩාගෙන, පන්න පන්න, කසෙන් තල තලා, ඇස් බැඳලා ඇඳට ගැටගහලා අහවල් එක කළත් ඔයාලට අවුලක් නෑ. ඔයාලා හාඩර්.. හාඩර්.. කියලා ඇස් දෙක පියාගෙන ඉන්නේ සුරතාන්තයට පත් වෙනවා වගේ. ඒ කියන්නේ චීනා කරන ඒවා මාරයි කියනවා.

ඒත්.. ඇමෙරිකාව එක්ක කරද්දී තමයි ඔයාලාට ඌවා වෙන්නේ. ඒත්, ඇත්ත දේශප්‍රේමීන් නම් මොකා කළත් සුරතාන්තයට පත් ‍වෙන්න බෑ. ඔය හෘදය සාක්ෂිය තියෙන්න ඕනෑ. ඒත් ඔය හෘදය සාක්ෂිය ඡන්න ළංවෙද්දී, තමන් තෝරාගත්ත සිදුවීම් සිදුවෙද්දී විතරක් මතුවෙන තක්කඩි හෘදය සාක්ෂියක්.

  • කිසිම සාකච්ඡාවක් නෑ, – භයානකයි

අපි කලින් දැනගෙන හිටියේ, අපට කැබිනට් එකේ අය පවා කීවේ පොඩි සාකච්ඡාවක් වුණා. ඒත්, හදිසියේ සම්මත කළා කියලයි. ඒත්, විමල් වීරවංශ ඇමතිවරයා කියන විදියට පොඩි සාකච්ඡාවක්වත් වෙලා නෑ. ඔහුගේම වචනවලින් කීවොත් මෙහෙමයි.

‘පසු දිනයක අමාත්‍ය මණ්ඩලයට එදා ඒ ගෙන ආවේ මොකක්ද කියා, උදය ගම්මන්පිල ඇමැතිතුමා ඇතුළු අපි කිහිප දෙනෙකු සිතමින් ඉන්නා විට මෙන්න ‘මිනිට්ස්’වල කැබිනට් තීරණයක් තිබෙනවා, ‘අහවල් කැබිනට් පත්‍රිකාව පිළිබඳව මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙන්න මේ මේ තීරණවලට එකඟ විය’ කියා.

මම බැලුවා ඔළුවට අයිස් කැටයකින් ගහගෙන, ‘මේ මොකක් හරි හීනයක් ද’ කියා. මෙන්න මෙහෙමයි මේක අනුමත වුණේ. අපි උසාවියට ඇවිල්ලා කියනවා. කිසිම සාකච්ඡාවක් වුණේ නැහැ. බොරු ලියන්න එපා! මේක හොරට ගෙනාවේ, තක්කඩිකමින් ගෙනාවේ.’

ඒ කියන්නේ අපි කලින් හිතුවාටත් වඩා තත්වය භයානකයි.

  • සදාකාලිකව දෙන කතාව

‘ගිවිසුමේ 4(2) වගන්තියේ කියනවා. මේ ටෙන්ඩරයේ ගෑස් සැපයීමේ කාලය වසර 5ක් හෝ දැනට ක්‍රියාත්මක ටෙන්ඩරයේ සැපයුම්කරුවා ගෑස් සැපයීමට සූදානම් තත්වයට පැමිණීම කියන තත්වයන් දෙකෙන් පරක්කු වී සිදුවන දෙයින් උදාවෙන කාලයට තමයි මේ ටෙන්ඩරයේ ඔවුන්ට ගෑස් සැපයීමට බලය ලැබෙන්නේ කියලා.

දැන් මේ ක්‍රියාත්මක ටෙන්ඩරය අපි හැමෝම දන්නවා. මේ දෙකේම ටෙන්ඩරය ක්‍රියාත්මක වීමේ කාලය තියෙන්නේ මාස 18යි. මේ ටෙන්ඩර් දෙකේම ගෑස් නළ දෙකම හැදෙන්නේ එකම කාලේ. හැබැයි ඉතින් වසර 5ක් මේ අයට දෙනවා නම් අනෙක් එක්කෙනා ගෑස් නළය හදාගෙන වසර පහක් නිකම් බලාගෙන ඉන්න ඕනෑ. එහෙම කරන්න කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ.

මට නිල නොවන ලෙස ලැබිලා තියෙන තොරතුරු අනුව එම ආයෝජකයා දැනටම ප්‍රසම්පාදන කමිටුවලදී නිව් ෆෝට්‍රස් එනර්ජි ගිවිසුම ඉස්සරහට යනවා නම් අපි මේ වැඩේ කරලා වැඩක් නෑ. අපි එහෙනම් අකුළගෙන යනවා කියන එක ප්‍රකාශ කරලා හමාරයි. ඒ කියන්නේ අර දෙවැනි කොන්දේසියෙන් කියන, සැපයුම්කරුවා කියන කෙනා කවදාවත් එන්නේ නැත. එසේ නම්  සදාකල්ම ලංකාවට ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුමේ 4(2) වගන්තියෙන් ලබා දී අවසන්ය.’

  • එහෙනම් ආණ්ඩුව ඇතුළේ තවම ඉන්නේ ඇයි?

‘කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් අමාත්‍ය මණ්ඩල තීරණයකට එරෙහිව අරගලයක. ඊටත් වඩා ලස්සන වැඩේ බලශක්ති අමාත්‍යවරයා බලශක්ති ව්‍යාපෘතියකට එරෙහිව අරගලයක.’ යනුවෙන් කියමින් තමන්ම කරන වැඩේ කොච්චර විහිළු සහගතද කියන එක සිහිපත් කරන වාක්‍යයක් ගම්මන්පිළ ඇමතිවරයා කීවා.

ඒත්, අනෙක් පැත්තෙන් ඒක සාධාරණීකරණය කරගන්න ඔහු තමන්ගේ කතාවේදී ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජීඑම් ප්‍රේමචන්ද්‍ර 1991 දී කැබිනට් එක විවේචනය කරලා, ඊට පස්සේ ඇමතිකම් නැති වුණාම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ගත්ත තීන්දුවක් මතක් කළා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තියෙනවාලු ඇමතිකම් තියෙද්දී ආණ්ඩුව විවේචනය කිරීමේ හැකියාව තියෙන බව.

ඇත්තටම කැබිනට් එකේ දේවල් පිටදී විවේචනය කරන්නේ නෑ කියන එක නීතියකට වඩා සංස්කෘතියක්. අපි බැලුවත් සදාචාරයට අනුවම ආණ්ඩුවේ ප්‍රධාන තීන්දුවකට විරුද්ධ නම්, ආණ්ඩුව ඇතුළේ ඉන්න බෑනේ.

  • බැසිල්ව ඉලක්ක කිරීම

‘ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම එක්ක අත්සන් කරපු ගිවිසුමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.

පළවැනි කොටසෙන් කියන්නේ දැනට දැවිතෙල්වලින් දිවෙන ඉදිරියේදී ස්වාභාවික වායුවලට පරිවර්තනය කරන්න නියමිත යුගදනවි කියන මෙගාවොට් 300ක ධාරිතාවක් තියෙන බලාගාරයේ කොටස්වලින් සීයට 40ක්. අනාගතයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 350ක ධාරිතාවක් තියෙන ගෑස්වලින් දුවන අලුත් විදුලි බලාගාරයේ කොටස්වලින් සීයට 49ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා කියලා. ඒකේ ප්‍රශ්න තියෙනවා.

බරපතල ප්‍රශ්නය තියෙන්නේ එතැන නෙවෙයි. දෙවැනි එකේ කියනවා මෙම විදුලි බලාගාරය ඇතුළුව ඉදිරියේ ඉදි කිරීමට නියමිත ගෑස් විදුලි බලාගාර පද්ධතියට සදාකාලිකව ගෑස් සැපයීමේ අයිතිය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා.

පාවෙන නැවත් අපි දෙන්නම්, ගෑස් නළයත් අපි හදන්නම්, ඒක හරහා විදුලි බලාගාරවලට ගෑස් දෙන වැඩේත් අපිම කරන්නම් කියලා මේ අය යෝජනාවක් ගේනවා. කවදාද, 2019 නොවැම්බර්.

හැබැයි 2021 පෙබරවාරි මාසයේ ඩලස් ඇමතිතුමාත් මමත් සාකච්ඡා කරලා විවිධ යෝජනා ගොඩක් තිබුණු නිසා, එක රටකට දුන්නොත් තව රටක් තරහා වෙනවාය කියලා අපි තීරණය කළා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකින් පාවෙන නැව හදන එක එක ටෙන්ඩරයක්. විදුලි බල මණ්ඩලයෙන් කළා. ගෑස් බටය හදන එක තව ටෙන්ඩරයක්. ඒක තෙල් සංස්ථාවෙන් කළා.

විදුලිබල මණ්ඩලයේ. හැබැයි 2019 නොවැම්බර් ඉඳන් ලංකාවේ මේ ව්‍යාපෘතිය ඇවිල්ලා කතා කරන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ඊට මාස 15කට පස්සේ දාන ටෙන්ඩරයට ඉදිරිපත් වෙන්නේ නෑ.

කවුරුහරි කියලා තියෙනවා උඹලා බය වෙන්න එපා මේකට එන්න ඕනෑ නෑ. ටෙන්ඩරය ගියොත් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. මේ අයගේ කොන්දේසිවලට වඩා ලංකාවට වාසි කොන්දේසි වෙන කෙනෙක් දැම්මොත්, නිව් ෆෝට්‍රස් එනර්ජිවලට නෙවෙයි වෙන කෙනෙකුට ලැබෙන්නේ.

උඹලා පැත්තකට වෙලා හිටපල්ලා. අපි උඹලාට මේ ටෙන්ඩරය ලබා දෙනවා කියලා කවුරුහරි පොරොන්දුවෙලා තියෙනවා. මේ ඉටුවෙලා තියෙන්නේ එම පොරොන්දුවයි. අපි දකිනවා ප්‍රශ්න ගණනාවක්.’

ඇත්තටම මේ ගිවිසුම පිටිපස්සේ බැසිල් ඉන්න නිසා ඉලක්ක කළාට කමක් නෑ. අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ ඉන්න ප්‍රධාන චරිතය බැසිල් තමයි. ඒත් මෙයාලා බැසිල්ට ගහන්නේ ඒ නිසාද?

ප්‍රශ්නය තියෙන්නේ අපි මතු කරන ඊළඟ ලක්ෂණය.

  • ගෝඨාභය රාජපක්ෂගෙන් විසඳුම් ඉල්ලීම

මේකේ ලස්සනම කෑල්ල තමයි විමල් වීරවංශලා තමන්ගේ කතා පවත්වද්දී මේ කියන සියලු අවුල්වලට ගැලවුම්කාරයා විදියට නම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ.

‘අපට ඕනෙ නැහැ මේ ආණ්ඩුව කඩලා දාන්න. අපට උවමනා නැහැ එළියෙ ඉන්න විරුද්ධ පක්ෂයේ දේශපාලන වශයෙන් නන්නත්තාර වුණු අයට ජීවය දෙන්න. අපිට ඕනේ ජනවරමට අනුකූල පාරේ මේ ආණ්ඩුව රැගෙන යන්න.’

ඔය විදියට ජනවරමක් ගැනත් ඔවුන් කතා කරනවා. ජනවරම ගැන කතා කරනවා නම් යුගදනවිවලිනුත් එහා ගිහින් සම්පූර්ණ රටේ අවුල කතා කරන්න එපායැ. ජනවරම ගැන කීවොත් ගෝඨාභයව පට්ට පතුරු ගහන්න එපායැ. ඒත්, මෙයාලා ආණ්ඩුවේ සම්පූර්ණ අවුල් ජාලාවෙන් එක අවුලක් විතරක් පෙන්වනවා. ඒකට වගකියන්න ඕනෑ කියලා බැසිල් රාජපක්ෂ නම් පෞද්ගලික දේශපාලන සතුරෙක්ව නම් කරනවා. ඊට පස්සේ රටම පටලවපු ජනාධිපතිගෙන් විසඳුම් ඉල්ලනවා.

‘අපි එතුමාට ඉතා ගෞරවයෙන් කියනවා, කරුණාකරලා මේ අපරාධය සිදු වෙන්න ඉඩ දෙන්න එපා. මේ, රටට සතුරු ව්‍යාපෘතිය නතර කරලා, විදුලි බල මණ්ඩලය කැඳවා ඇති ටෙන්ඩර අනුව, ඒ නීත්‍යනුකුල පටිපාටිය අනුව, ගෑස් සැපයීමේ බලය විදුලිබල මණ්ඩලය සතුව තබා ගෙන ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න.’

  • විකාරරූපී ඇමෙරිකන් විරෝධය

‘අවුරුදු 05කට බලයක් අරන් මුළුමහත් රටේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය මේ රටට සතුරු රටකට හොර පාරෙන් දෙන්න හදන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නැහැ.’ කියලයි විමල් වීරවංශ කීවේ.

‘ඇමරිකාව සෝෆා ඇතුළු තවත් ගිවිසුම් ගහගෙන මේ රටට ඇතුළු වෙන්න වෙර දරපු රටක්.’ කියලත් ඔහු කීවා.

ඒත්, ඊට වඩා ආවේගශීලී කතාව කළේ ගම්මන්පිල මහත්තයා.

රණවිරුවන්ට දඬුවම් කළේ නැත්නම් ආර්ථික සම්බාධක පනවනවා. කවුද කියන්නේ, ඇමෙරිකාව. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාවේ නැත්නම් ආර්ථික සම්බාධක පනවනවා. කවුද කියන්නේ, ඇමෙරිකාව.

රට අඳුරට දවස් දෙකතුනක් යවලා, වහාම රණවිරුවන්ට දඬුවම් කරපිය කීවොත් අපට මොකද වෙන්නේ.’

ඇමතිවරයා කතාවේදී එහෙම කීවත් ඇමෙරිකාව කිසිම විටෙක ‘රණවිරුවන්ට දඬුවම් කරපිය’ කියා නැහැ. ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන් දිරිගැන්වීම් කරලා තිබුණත්, කිසිම අවස්ථාවක ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න කියන්නේ නෑ.

අනෙක ඇමෙරිකානු ආයෝජන සමාගම් චීන සමාගම් වාගේ ආණ්ඩුවට ඕනෑ විදියට විතරක් වැඩ කරන්නේ නැහැ. ඇමෙරිකන් බිස්නස්, ඇමෙරිකන් ආයෝජන වැඩ කරන්නේ එහෙම නෙවෙයි.

ඒ නිසා යුගදනවි ගිවිසුම ගැන අපට තියෙන විරෝධය මේකේ දූෂිත බව,  ඒකාධිකරය එක පිරිසකට පැවරීම ආදී මේ විමල්-ගම්න්පිල මහත්තුරු පවා කීව අනෙකුත් කරුණු මිසක් හුදෙක් ඇමෙරිකාව ‘රණවිරුවො මේක අල්ලාගෙන ගස් යවයි’ වගේ බොරු කුමන්ත්‍රණ න්‍යායන් නෙවෙයි. අපි මේ ගිවිසුම්වලට විරුද්ධව කතා කරන අතරේ මේ ගිවිසුම්වලට විරුද්ධව මවන මේ වගේ විකාරරූපී කතන්දරවලටත් විරුද්ධ වෙන්න ඕනෑ.

මතක ඇති මීට කලින් එම්සීසී ගිවිසුම ගැන කතා කරද්දී තමන්ට අයිති නැති ආර්ථික විශේෂඥ කෝට් බෑයක් දාගෙන අනුරුද්ධ පාදෙණිය වගේ ජෝකර්ලා කියපු කතා. ලංකාව දෙකට බෙදපු සිතියම් පෙන්න පෙන්නා මිනිස්සු බය කරපු හැටි.

  • චීනාට දුන්නා නං සද්ද නෑ

මේක මේ විදියටම චීනයට දුන්නා නම්, කිසි අවුලක් නැති බවත් ඔවුන්ගේ කතාවලින්ම පේනවා. ගම්මන්පිල මහත්තයා මෙහෙම කීවා.

‘චීනයයි පාකිස්ථානයයි කියන්නේ යුද්ධයේදීත් අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ලංකාවට යෝජනා එන විටත් කොන්දේසි විරහිතව ලංකාව එක්ක හිටගත්ත රටවල් දෙකක්. අපට සතුරුකම් කළ, අපට සතුරුකම් කරන ඇමෙරිකාවට ලබා දුන්නාට පස්සේ මිතුරෝ අපට ඉතුරු වේවිද? මිතුරෝ හිතාවි යකෝ මුංට හතුරුකම් කළාම තමයි සලකන්නේ. මිතුරුකම් කළාට සලකන්නේ නෑ කියලා චීනයයි පාකිස්ථානයයි හිතුවොත් අපට ඒකට කරන්න දෙයක් නෑ.’

මේ විරෝධතාකරුවන් හුදෙක් මේ රටේ මිනිසුන් ඉදිරියේ ‘බටහිර විරෝධී’ නාට්‍ය රඟදක්වන්න විතරක් මේ ගිවිසුමට කෑගහනවා.

ඇත්තටම මෙයාලා විරුද්ධ ආණ්ඩුවේ ලොක්කෝ බලවත් බිස්නස්කාරයන් එක්ක ඩීල් දාන එකට නෙවෙයි, හුදෙක් ඇමෙරිකන් විරෝධයක් විතරක් කියන එක තමයි පේන්නේ.

එතකොට වෙන අය එක්ක දාන ඩීල් අවුලක් නෑ. සමහරවිට එයාලාත් සම්බන්ධ වේවි.

  • සාකච්ඡාවේදී වෙච්ච දේ

යුගදනවි බලාගාරය සහ ඒකට අදාල ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කරන්න කියලා ඔක්තෝබර් 28 වැනි බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ තිබුණ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ගැන කතා නොකර, ‘මම තමයි හොඳටම කළේ’ ටයිප් එකෙන් කතා කරන්න පටන් අරන්. ඒ පාර මැදිහත් වූ විමල් වීරවංශ අමාත්‍යවරයා යුගදනවි ගැන කතා කරමු කියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා.

මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කටයුතු කරපු විදිය ගැන විමල් පිළේ නායකයන් 30 වැනිදා තිබුණ මහජන සභාව අස්සේත් කතා කරපු බව ආරංචියි. ඇතැම් පක්ෂ නායකයන් මේ සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිවරයා ගැන තවත් විශ්වාසය දුර්වල කරගෙනලු ඉන්නේ. ඒත්, උපක්‍රමයක් විදියට විමල් පිළ බැසිල් රාජපක්ෂට මිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇටෑක් කරන්නේ නෑ.

යුගදනවි බලාගාරය පිළිබඳ ඔක්තෝබර් 29 වැනිදා මහජන සම්මන්ත්‍රණයක් පවත්වන බව විමල් වීරවංශ පිළ ප්‍රකාශ කළාට පස්සේ තමයි මේ කියන සාකච්ඡාව කැඳවන්න අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත් වෙලා තිබුණේ. මේ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ලෑස්ති කරගෙන.

මේකට විමල් පිළේ පක්ෂ නායකන් ඇතුළු පිරිසක් සහභාගී වෙලා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පොහොට්ටුවේ පිරිසකුත් හිටියාලු.

හවස 5.30ට තිබුණ මේකට සාකච්ඡාවට යන්න කලින් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ගෙදරදී ලෑස්ති වෙලා, මේ කට්ටිය ජනාධිපතිවරයාට කාරණේ පහදන්න සැලසුමකුත් හදලා. විමල් කැබිනට් එකේ වෙච්ච දේවල් ගැන කතා කරනවා, ගම්මන්පිල ගිවිසුමේ කාරණා ගැන කියනවා, රතන හිමි තව දේවල් ටිකක් කියනවා ආදී වශයෙන්.

ඒත් හොඳට සූදානම් වෙලා සාකච්ඡාවට ගිහින් බැලුවාම, ඒකේ කරුණු 14ක න්‍යායපත්‍රයේ 12 වැනි අංගය විදියටලු යුගදනවි කතාව දාගෙන තිබුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් පාලනය, එන්නත්කරණය, කාබනික ගොවිතැන, පුනර්ජනනීය බලශක්තිය වගේ එයා තමන්ගේ වැඩ කියලා හිතාගෙන ඉන්න සීමිත මාතෘකා ටිකක් ගැන කයිවාරුවක් පටන් ගන්නලු හැදුවේ.

රට ඇරියාම උද්ඝෝෂණ පටන් ගත්තොත් ආයේ කොවිඩ් වැඩිවේවී වගේ කතාන්දරත් කියන්න හැදුවාලු.

ඒත්, විමල් ඉල්ලුවාලු යුගදනවි ගැන කතා කරමු කියා. ඊට පස්සේ තමයි කතාව පටන් අරන් තිබුණේ.

ඒත් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු අයත් මේකට සම්බන්ධ වීමෙන් ජනාධිපතිවරයා එක්ක කතා කිරීමේ විමල් පිළේ වුවමනාව ඉටු වෙලා නෑ. මේකෙදී ජනාධිපතිවරයා ඈත් වෙලා ‘බැසිල් එක්ක කතා කරන්න වගේ’ කියලා තමයි ඉඟි කරලා තියෙන්නේ. එතකොට විමල් සහ ගම්මන්පිළ කීව දේවල්වලට බැසිල් රාජපක්ෂ උත්තර බැන්දාලු.

ගිවිසුම තාම හදලා ඉවර නෑ, නීතිපති එකෙන් කෙටුම්පත් කරනවා වගේ කතාවකුත් කියලා. ඔය කියන්නේ අර මහ රෑ අත්සන් කරපු එක නෙවෙයි, ගෑස් සැපයීමේ ඒකාධිකරය දෙන ගිවිසුම ගැන වෙන්න ඕනෑ. කොහොමරි ඒක තමන්වත් දැක්කේ නෑ කියලා බැසිල් රාජපක්ෂ කීවාලු.

උදය ගම්මන්පිළ ඇමතිවරයා දිගින් දිගටම කියන්නේ ලංකාවේ ගෑස් තියෙන කතාවනේ. ඒකට ප්‍රතිචාර විදියට බැසිල් රාජපක්ෂ කීවාලු ගම්මන්පිළ ඇමතිවරයා ගෑස් ගොඩගත්තාම ඒවා ආණ්ඩුවෙන් ගන්නම් වගේ. ඒ කියන්නේ ගෑස් ගොඩගැනීම ජාතික අවශ්‍යතාවක් නෙවෙයි, ගම්මන්පිළගේ පෞද්ගලික වැඩක් වගේ.

ඒ පාර ගම්මන්පිළ ඇමතිවරයා කීවාලු මේ ගිවිසුම නිසා ගෑස් ගොඩගන්න ආයෝජකයන් එන්නේ නැති බව.

බැසිල් ඒකට උත්තර විදියට කීවාලු ඔබතුමාට ගෑස් ගොඩගන්න බැරි එක මගේ පිට දාන්න එපා කියලා. ආයෙමත්, මතක් කළොත් ගෑස් තියෙනවා කියන තැන්වලින් ගොඩගැනීම ගම්මන්පිළගේ පෞද්ගලික වැඩක් වගේ. මේ සාකච්ඡාවේදී පැහැදිලිව පෙනිලා තියෙනවා ගෑස් ගොඩගැනීමේ උනන්දුවක් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාට නැති බව.

කොහොම නමුත්, මෙතැනදී පැහැදිලිව පෙනිලා තිබුණ අනෙක් වැඩේ තමයි සද්ද නැතිව හිටියත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් යුගදනවි වැඩේ පිටිපස්සේ ඉන්න බව. ඒත්, ඒ වෙනුවට විමල් වීරවංශලා දිගින් දිගටම කටයුතු කරන්නේ මේක හුදෙක් බැසිල් කරන වරදක් විතරක් වගෙයි.

මීට කලින් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් විමල් පිළ ඉල්ලුවාම, ජනාධිපතිවරයා බෑ කියලා තිබුණේ. ඊට පස්සේ ප්‍රසිද්ධ රැස්වීම්වලට  යුගදනවි එකට එළිපිට විරුද්ධ වෙන්න ගත්තාමයි, ආණ්ඩුවට දෙකොණ තද වුණේ.

  • ජනතාව නොමඟ යැවීම

අන්තිමේ සමස්තයක් විදියට කීවොත්, ඔබට සප්‍රයිස් එකක් නෙවෙයි කියන්න තියෙන්නේ. අපි හැමෝම දන්න කාරණය. මේ උත්සාහ කරන්නේ ජනතාව නොමඟ යවන්න. ඩිස්ට්‍රැක්ට් කරන්න. එක විදියකට මේ ආණ්ඩුවේ තියෙන වැරදි ගොන්නක් ගැන පොදුවේ සාකච්ඡා කරමින්, පොදු අර්බුදයට විරුද්ධව සටන් කරනවා වෙනුවට එක අර්බුදයක් විතරක් මතු කරනවා.

ඒක අර්බුදයක් තමයි. ඒකට විරුද්ධ වෙන්න ඕනෑ තමයි. ඒත් ලොකුම අර්බුදය ඔය කියන එක ඇතුළු තව ගොඩක් දේ කරන මේ ආණ්ඩුවමයි. ඉතින්, එයාලාත් ආණ්ඩුවේ කෑල්ලක්.

ඒක අමතක කරවලා, ජනතාව නොමඟ යැව්වාට වැඩක් නෑ. ඒක සාර්ථක වෙන්නේත් නෑ.