ඥාණසාර-ගෝඨා සංයෝගය! ‘මං විරුද්ධයි’ – අලි සබ්රි කීවාලු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පත් කිරීම පිළිබඳ අධිකරණ අමාත්‍ය අලි සබ්රි දැනගෙන හිටියේ නැති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරලා.

ඒ වාර්තාව අනුව මේ ගැන අධිකරණ ඇමතිවරයාගෙන් විමසුවාම ඔහුම කියා තියෙනවා. ‘මම ඒ තීන්දුව ගැන සතුටු වෙන්නේ නැහැ’ යනුවෙන්. තමන් තීන්දුව ගැන දැන නොසිටි බවත් අලි සබ්රි කියලා.

ඒ වාර්තාවේ තියෙන හැටියට අධිකරණ අමාත්‍යවරයා මේ ගැන ඉන්නේ නොසතුටෙන්. නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් නොවන, ප්‍රකට මුස්ලිම් විරෝධී ජාතිවාදී භික්ෂුවක් නීති කෙටුම්පත් කරන කාර්යසාධක බලකායක ලොක්කා කළාම, මුස්ලිම් ජාතිකයෙකුත් වන අධිකරණ අමාත්‍යවරයා නොසතුටෙන් ඉඳීම පුදුමයකුත් නෙවෙයි.

ඒ වුණත් 2015-2019 කාලයේ ගෝඨාභය රාජපක්ෂට තිබුණු චෝදනාවලින් නඩු කන්නේ නැතිව බේරා දී, අධිකරණ නියෝග අරන්, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ආරක්ෂාව සැපයූ අලි සබ්රිට මෙහෙම කළාම, ඔහුට පෞද්ගලිකවත් හිත් රිදීමක් ඇති වෙනවා ඇති.

අනෙක තමන්ගේ පවුලේ අය, හිත මිතුරෙන් හමු වී අලි සබ්රි මහතා සාකච්ඡා කරන්නේ කොහොමද? ගෝඨාභය වෙනුවෙන් බෙල්ල දීපු අලි සබ්රිව ජනාධිපති අමාරුවේ දැමූ හැටි.

මේකේ අනෙක් විහිළුව තමයි මේ කාර්යසාධක බලකායේ සාමාජිකයන් ලෙස පත් වූ මුස්ලිම් ජාතිකයන් දැනගෙන ඉඳලාත් නෑ, තමන්ගේ ලොක්කා විදියට මුස්ලිම් විරෝධී න්‍යායපත්‍රයක් කර තියාගෙන, ව්‍යාජ අදහස් පතුරුවන හිමිනමක් පත් කරන්න නියමිත බව. මේ කාර්යසාධක බලකාය ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිහිටුවන්න නෙවෙයි, මුස්ලිම් විරෝධී න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න පටන්ගත් එකක් බව.

කොළඹ නාගරික මන්ත්‍රී කලීල් රහුමාන් ටයිම්ස් පත්තරේට කියා තියෙනවා තමන්ව මේ ගැන දැනුවත් නොකරපු බව. බෂීර් සේගුදාවුද්ගේ ‘එක්සත් සාම පෙරමුණ’ කියන පක්ෂයෙන් තමයි කලීල් රහුමාන් කොළඹ නගර සභාවට පත් වෙලා හිටියේ. ඒ මනුස්සයා දැන් කොළඹ මුස්ලිම් ජාතිකයන්ගෙන් ඡන්දය ඉල්ලලාත් හමාරයි. දැන් බෂීර් සේගුදාවුද්ලා ඒ මනුස්සයාගේ පක්ෂ සාමාජිකත්වය ගැන විනය පියවර ගැනීමට ලෑස්ති වෙනවාලු.

තමන් වෙනුවෙන් ඉදිරිපත් වූ මිනිසුන්ව ජනාධිපති අමාරුවේ දාන හැටි.

මේ හැරුණාම සීඩබ්ලිව්සී එකේ හෙවත් තොණ්ඩමාන්ලාගේ පක්ෂයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමාන් විමසීමක් කරලා තිබුණා, මේ කාර්යසාධක බලකායේ දෙමළ නියෝජනයක් නැත්තේ ඇයි කියන එක.

මේ හැරුණාම සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයත් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ආන්දෝලනාත්මක පුද්ගලයෙක් මේ කාර්යසාධක බලකායේ ප්‍රධානත්වයට පත් කිරීම ගැන තමන් කම්පනයට පත් වූ බව.