‘එක රටක් එක නීතියක්’ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට ඥාණසාර හාමුදුරුවන්ව පත් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ජනාධිපතිවරයා ඉදිරියේ විරෝධය දක්වලා.
හේතු පැහැදිලි කිරීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරලා තිබුණා.
ඔක්තෝබර් 28 වැනි බ්‍රහස්පතින්දා අගමැති මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබුණ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තමයි මේ කතාබහ වෙලා තිබුණේ.
ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම හරිම විකාර සහගතයි. අමුතුයි. යම්කිසි රජයේ පත් කිරීමක් ගැන පැහැදිලි කරන ආකාරයක් නෙවෙයි ඒකේ තිබුණේ.
‘එක රටක් එක නීතියක් ගැන වැඩිපුරම කතා කරන්නේ ඥාණසාර හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ කොමිෂන් සභාවට සුදුසුයි.’ කියලා ජනාධිපතිවරයා කීව බව ඉරිදා පත්තරවල ගොසිප් කොලම්වල සඳහන් කරලා තිබුණා.
ඊට අමතරව ඒ කාර්යසාධක බලකායට නීතිමය බලයක් නැති බවත්, යෝජනා ගන්නට ඒ පත් කිරීම සිදු කරපු බවත් රැස්වීමේ ආරංචිවල කියනවා. කාර්යසාධක බලකායක් පත් කරන්නත්, ඒකට දාන්නේ කවුද කියලා තීන්දු කරන්නත් බලය තමන්ට තියෙන බවකුත් ජනාධිපතිවරයා කීවාලු.
ඒ කතාවේ තේරුම මොකක්ද? ඒ කියන්නේ එක රටක් එක නීතියක් ගැන ජනාධිපතිවරයා කැම්පේන් එකේදී ලොකුවට කරේ තියං ගියේ, ඥාණසාර හාමුදුරුවන් කීව මගුලක්ද? ඒ කියන්නේ කැම්පේන් එකට ඔය වාක්‍යය ගත්තේ ඥාණසාර හාමුදුරුවන් කීව නිසාද?
එක රටක් එක නීතියක් කියන එක ගැන දාලා තිබුණ පැහැදිලි කිරීමෙන් පෙනුණේ මේ කියන්නේ නීතියේ ආධිපත්‍යය කියන පුළුල් දේශපාලන විද්‍යා, නීති සංකල්පය ගැන බව. ඒත්, ඒ සංකල්පය අනුව ගත්තොත් ඥාණසාර හාමුදුරුවන්ට කිසිම සුදුසුකමක් මේකට නෑ. එහිමියන් නීති විශාරදයෙකුත් නෙවෙයි.
ඒ කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කිසිම දේශපාලන විඥාණයක් නැති පොරක්ද? ‘මං දන්නෙත් නෑ අප්පා මොකක්ද ඕකේ තේරුම කියලා. ඥාණසාර හාමුදුරුවෝ තමයි ඕක කිය කියා හිටියේ. ඒත් කොහොම වුණත් ඒ යෙදුම මරු. නැගලා යනවා. ඉතින් මං මගේ කැම්පේන් එකටත් ඒක ගත්තා. කොමිසමක් දාලා, ඔය මොකක්හරි එක ගැන මට වාර්තාවක් දෙන්න කියලා ඒ හාමුදුරුවන්වම දැම්මා.’ වගේ එකක්ද ජනාධිපතිවරයා අදහස් කළේ?
අනෙක, කාර්යසාධක බලකා පත් කරන්නයි ඒකට කට්ටිය දාන්නයි තමන්ට බලය තියෙන බව ඔය වගේ හිතුමතේට කියන්න ජනාධිපතිට පුළුවන්ද? ඔතැන අතාවුල්ලාවත්, මේ වෙලාවේ දෙස් දෙවොල් තියන රටවැසියන්වත්, බයෙන් ගැහෙන සාමාන්‍ය මුස්ලිම් ජනතාවත් දැන් ඕකේ නිත්‍යානුකූලභාවය ප්‍රශ්න කළේ නෑනේ? බලය නෑ කියලා කීවේ නෑනේ.
මිනිසුන් අහන්නේ ඔය බලය පාවිච්චි කරමින් ඔය පත් කිරීම කළේ ඇයි? ඒක සුදුසු නෑ කියලයි. ජනාධිපතිට බලය දුන්නෙ අහසෙ ඉන්න දෙයියො නෙවෙයි. මහජන බදු මුදලින් සොහොන් කොත් හැදුවට දන්දිනා මැණිකෙයි, ඇල්වින් උන්නැහෙයි දීලා ගිය බලයකුත් නෙවෙයි ඔය. බලය දුන්නෙ මිනිස්සු. අනෙක් පැත්තෙන් අතාවුල්ලා වගේ අයත්, මුස්ලිම් මිනිස්සු ඉදිරියේ මාකට් කරන්න බැරි ගෝඨාභය කෙනෙක් මාකට් කරමින් ඡන්ද කීයක් හරි අරන් දුන්නානේ. ඒ මිනිසුන්ට ප්‍රශ්න කළාම, හරි පැහැදිලි කිරීමක් නොකර විකාර උත්තර දෙන්නේ අහවල් එකටද?
එතකොට අනෙක් තනතුරුවලට කට්ටිය දැම්මෙත්, ඒ අයට වැඩේ පුළුවන්ද, බැරිද කියලා තක්සේරු කරනවා වෙනුවට ඒක ගැනම වැඩිපුරම කතා කරන කෙනාව දානවා කියන පදනමින්ද?
ආ.. ඒක නම් තේරුම් ගන්න පුළුවන්. ශවේන්ද්‍රව කොවිඩ් පාලනයටත්, ඩොක්ටර් පාදෙණියව පොහොර ව්‍යාපෘතිවලටත් ගාවාගැනීම ඇතුළේ ඕවා පේනවා.
මීට අමතරව ‘ජනාධිපතිතුමා කොමිෂන් පත් කරන්නේ විෂයානුබද්ධ කරුණු ගැන අවබෝධයක් ගන්න.’ බැසිල් රාජපක්ෂ කීව බවත් සඳහන් වුණා.
ඒත්, ඊටත් වඩා ඇබ්සර්ඩ් හෙවත් විකාරරූපීම කතාව කියා තිබුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගලු.
‘දඟම ළමයා ශිෂ්‍ය නායකයා කරනවා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ.’ කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවාලු.
ආ.. එතකොට මේ වගකිවයුතු රජයේ පත් කිරීම් නෙවෙයිද? හුදෙක් මොනිටර් පත්වීම්ද?