විමල්ගේ කෑගැහිල්ල නිසා මඟහැරිච්ච ගම්මන්පිළගේ හෙළිදරව්! සමාගමක් හැරිලා යන හැටි, සදහටම කෙළවෙන හැටි

ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනයට ගෑස් සැපයීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියේ ඉදිරියෙන් ඉන්න ආයෝජන සමාගම යුගදනවි බලාගාරයේ කුප්‍රකට හොර ගිවිසුම් නිසා ලංකාවෙන් යන්න ලෑස්ති බව අමාත්‍ය උදය ගම්මන්පිළ 29 වැනිදා හෙළිදරව් කළා.

මේ විදියට ලංකාවට ගෑස් නළ ඉදි කරලා, ගෑස් සපයන්න හිතන සමාගමක් අදහස අතෑරලා යන්න ගියොත්, ඉදිරියේදීවත් වෙනත් කිසිම ආයෝජකයෙක් ගෑස් සැපයීමට ඉදිරිපත්  වෙන එකක් නෑ කියලා තමයි ගම්මන්පිළ අමාත්‍යවරයා කීවේ.

ඔක්තෝබර් 29 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවති ඇමෙරිකානු සමාගමකට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රණ සභාව නම් රැස්වීමේ තිබුණු වැදගත්ම කතාව කරමින් තමයි ඔහු මේ බව කීවේ. මතවාදීව ඔහු එකඟ වුණත් නැතත්, ඔහු ඉතාම සරල විදියට මේ ගිවිසුම් ගැන පැහැදිලි කිරීමක් එතැන කරපු බව කියන්නම ඕනෑ.

ගිවිසුමේ වගන්ති අනුව නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට සදාකාලිකව ලංකාවේ ගෑස් සැපයීමේ අයිතිය ලැබෙන බව තමයි උදය ගම්මන්පිළ අමාත්‍යවරයාගේ තර්කය වුණේ. ඒ ගැන පැහැදිලි කරද්දී ඔහු මේ බව කීවේ.

‘ගිවිසුමේ 4(2) වගන්තියේ කියනවා. මේ ටෙන්ඩරයේ ගෑස් සැපයීමේ කාලය වසර 5ක් හෝ දැනට ක්‍රියාත්මක ටෙන්ඩරයේ සැපයුම්කරුවා ගෑස් සැපයීමට සූදානම් තත්වයට පැමිණීම කියන තත්වයන් දෙකෙන් පරක්කු වී සිදුවන දෙයින් උදාවෙන කාලයට තමයි මේ ටෙන්ඩරයේ ඔවුන්ට ගෑස් සැපයීමට බලය ලැබෙන්නේ කියලා.

දැන් මේ ක්‍රියාත්මක ටෙන්ඩරය අපි හැමෝම දන්නවා. මේ දෙකේම ටෙන්ඩරය ක්‍රියාත්මක වීමේ කාලය තියෙන්නේ මාස 18යි. මේ ටෙන්ඩර් දෙකේම ගෑස් නළ දෙකම හැදෙන්නේ එකම කාලේ. හැබැයි ඉතින් වසර 5ක් මේ අයට දෙනවා නම් අනෙක් එක්කෙනා ගෑස් නළය හදාගෙන වසර පහක් නිකම් බලාගෙන ඉන්න ඕනෑ. එහෙම කරන්න කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ.

මට නිල නොවන ලෙස ලැබිලා තියෙන තොරතුරු අනුව එම ආයෝජකයා දැනටම ප්‍රසම්පාදන කමිටුවලදී නිව් ෆෝට්‍රස් එනර්ජි ගිවිසුම ඉස්සරහට යනවා නම් අපි මේ වැඩේ කරලා වැඩක් නෑ. අපි එහෙනම් අකුළගෙන යනවා කියන එක ප්‍රකාශ කරලා හමාරයි. ඒ කියන්නේ අර දෙවැනි කොන්දේසියෙන් කියන, සැපයුම්කරුවා කියන කෙනා කවදාවත් එන්නේ නැත. එසේ නම්  සදාකල්ම ලංකාවට ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුමේ 4(2) වගන්තියෙන් ලබා දී අවසන්ය.’

යනුවෙන් ඔහු ඒ වෙලාවේ පැහැදිලි කළා.

ඒ කරුණු ඇතුළත් ඔහුගේ සම්පූර්ණ අදහස් දැක්වීමේ සටහනක් මේ.

‘කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් අමාත්‍ය මණ්ඩල තීරණයකට එරෙහිව අරගලයක. ඊටත් වඩා ලස්සන වැඩේ බලශක්ති අමාත්‍යවරයා බලශක්ති ව්‍යාපෘතියකට එරෙහිව අරගලයක. ඇමති මණ්ඩලයේ සිටින ගමන් අමාත්‍ය මණ්ඩල තීන්දුවකට එරෙහිව අරගල කරන්න පුළුවන්ද? සදාචාර සම්පන්නද? අර සාමූහික වගකීමට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය සමහරුන් අහන්න පුළුවන්.

මීට හරියටම වසර 30කට කලින්. 1991 දී ඇමති මණ්ඩලයේ හිටිය ඇමතිවරුන් තිදෙනෙක් ආණ්ඩුව ඇතුළේ අරගලයක් කළා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජීඑම් ප්‍රේමචන්ද්‍ර ඇමතිතුමන්ලා.

ඇමතිධුරය අරගලයේ ප්‍රතිඵලයක් විදියට අහිමි වුණාම මේ අය උසාවි ගියා. 1993 ශ්‍රී ලංකා නීති වාර්තා දෙවැනි වෙළුමේ නඩු තීන්දුව තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය අපූරු දෙයක් සඳහන් කරනවා. ඒ තමයි අමාත්‍ය මණ්ඩලය තුළ යම් කාරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන්ට අවස්ථාව නොලැබුණොත් එය ජනතාව සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන්ට ශුද්ධ වූ අයිතියක් ඇත කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනවා.

මිත්‍රවරුනි අපි මේ පාවිච්චි කරමින් ඉන්නේ ඒ ශුද්ධ වූ අයිතියයි. මේ යුගදනවි කියන ප්‍රශ්නය. යුගදනවි, යුගදනවි කීවාම මොකක්ද මේ ප්‍රශ්නය කියලා මතු වෙනවා. ඒ නිසා මම කැමතියි මුලින්ම මේ ප්‍රශ්නය මොකක්ද කියලා පැහැදිලි කරන්න.

අපේ හාමුදුරුවරනේ, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම එක්ක අත්සන් කරපු ගිවිසුමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.

පළවැනි කොටසෙන් කියන්නේ දැනට දැවිතෙල්වලින් දිවෙන ඉදිරියේදී ස්වාභාවික වායුවලට පරිවර්තනය කරන්න නියමිත යුගදනවි කියන මෙගාවොට් 300ක ධාරිතාවක් තියෙන බලාගාරයේ කොටස්වලින් සීයට 40ක්. අනාගතයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 350ක ධාරිතාවක් තියෙන ගෑස්වලින් දුවන අලුත් විදුලි බලාගාරයේ කොටස්වලින් සීයට 49ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා කියලා. ඒකේ ප්‍රශ්න තියෙනවා.

බරපතල ප්‍රශ්නය තියෙන්නේ එතැන නෙවෙයි. දෙවැනි එකේ කියනවා මෙම විදුලි බලාගාරය ඇතුළුව ඉදිරියේ ඉදි කිරීමට නියමිත ගෑස් විදුලි බලාගාර පද්ධතියටම සදාකාලිකවම බෝල්ඩ් කරලා, අන්ඩර්ලයින් කරලා ලියාගන්න, සදාකාලිකවම ගෑස් සැපයීමේ අයිතිය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා.

එතකොට මේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අසීමිත වූ කාලෙකට ඇමෙරිකාවේ සමාගමකට. විදේශිකයන්ට දෙන එකේ භයානකකමක් තියෙනවා. ඒක ඇමෙරිකාව වන නිසා ඊට වඩා භයානක වෙනවා.

මං පැහැදිලි කරන්නම්, ඒ ඇයි කියලා. දැන් මොකක්ද මේකේ වෙන්නේ. මේ අයට භාර දීලා තියෙන වගකීම තමයි මේ ගෑස් ගෑස් කීවාම ගෙදර තියෙන ගෑස් අපි දන්නවා. සමහරු කියනවා නෝනත් ගෑස් දානවා කියලා. බඩේත් ගෑස් එනවා කියනවා. උයන්න තියෙනවා එල්පීජී කියලා ගෑස් ජාතියක්.

අපි මේ ගෑස් කියන්නේ මහපොළොවේ යට තියෙනවා, මේකේ මීතේන් වායුව තමයි ගොඩක් තියෙන්නේ. අපි විද්‍යාවට ඉගෙනගෙන තිනෙවා සීඑච්4 කියලා හඳුන්වන මේ මීතේන් වායුව තමයි ස්වාභාවික ගෑස් කියන්නේ. සාතිශය බහුතරයක් තියෙන්නේ.

එතකොට මේ වායුව අපිට තැනකට ගබඩා කරද්දී විශාල ඉඩක් යන වායුව, බැලුම් බෝලයක් වගේනේ වායු පුරවන්න වෙන්නේ. ඒ නිසා ප්‍රවාහනය කරන්න අමාරුයි. ඍණ සෙන්ට්‍රිගේට් අංශක 168 දී මේක ද්‍රවයක් බවට පත් කරන්න පුළුවන්. දියරයක් කරන්න පුළුවන්. ගෑස් ගබඩා කරන්නේ, ප්‍රවාහනය කරන්නේ මේක දියරයක් බවට පත් කරලා. මහපොළොව යටින් ගන්න නිසා මේකට කිව්වා ස්වාභාවික වායු, නැත්නම් නැචුරල් ගෑස් කියලා. මේක ගබඩා කරලා තියාගන්න දියරයක් කරපු නිසා ලික්විෆයිඩ් නැචුරල් ගෑස් නැත්නම් එල්එන්ජී කිව්වා.

අපට ගේන්නේ පිටරටින් නම්, අනිවාර්යයෙන්ම එන්ජී නෙවෙයි, එල්එන්ජී. එතකොට මේ කරන්න යන්නේ නිව් ෆෝට්‍රස් සමාගමේ පාවෙන ගෑස් ගබඩාවක්, නැවක් ගෙනල්ලා නතර කරනවා. ඒ නැවට වෙනත් නැව්වලින් ගෙනල්ලා දියර ස්වභාවයෙන් ගෑස් පටවනවා. නැවත මේක ගෑස්වලට පරිවර්තනය කරලා නැවත අපේ විදුලි බලාගාරවලට අරන් එන ව්‍යාපෘතිය. මේ සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව පත් වෙනකොටමයි මේ යෝජනාවත් එන්නේ. මේ නිව් ෆෝට්‍රස් එනර්ජි ව්‍යාපෘතිය අරන් එනවා ඔය වැඩ තුනම.

පාවෙන නැවත් අපි දෙන්නම්, ගෑස් නළයත් අපි හදන්නම්, ඒක හරහා විදුලි බලාගාරවලට ගෑස් දෙන වැඩේත් අපිම කරන්නම් කියලා මේ අය යෝජනාවක් ගේනවා. කවදාද, 2019 නොවැම්බර්.

හැබැයි 2021 පෙබරවාරි මාසයේ ඩලස් ඇමතිතුමාත් මමත් සාකච්ඡා කරලා විවිධ යෝජනා ගොඩක් තිබුණු නිසා, එක රටකට දුන්නොත් තව රටක් තරහා වෙනවාය කියලා අපි තීරණය කළා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකින් පාවෙන නැව හදන එක එක ටෙන්ඩරයක්. විදුලි බල මණ්ඩලයෙන් කළා. ගෑස් බටය හදන එක තව ටෙන්ඩරයක්. ඒක තෙල් සංස්ථාවෙන් කළා.

හැබැයි ගෑස් සැපයීම කාටවත් දුන්නේ නෑ. විදුලිබල මණ්ඩලය තියා ගත්තා. ඇයි ඒ? අපි විදුලිබල ඇමතිතුමා විදියට ඩලස් අලහපෙරුම ඇමතිතුමා හමුවෙලා ඉල්ලීමක් කළා ගෑස් ඒකාධිකාරය කාටවත් දෙන්න එපා, එහෙම දුන්නොත් අපේ රටේ තියෙන ගෑස් ටික ගොඩ ගත්තාම ලංකාවේ වෙළඳපොළ අහිමි වුණොත් කවුරුවත් මේක ආයෝජනය කරලා, ගොඩ ගන්න එන්නේ නෑ.

අපේ ලංකාවේ කාටවත් මේක ගොඩ ගන්න සල්ලි නෑ. සල්ලි තියෙන, දැනුම තියෙන සමාගම් එන්න නම්, මම කලින් කීවා තෙල් වගේ නෙවෙයි. තෙල් නම් ගත්තා, බැරල් එකකට දැම්මා, ඕනෑ කාලයක් තියා ගත්තා. හැබැයි මේක අර ඍණ සෙන්ට්‍රිග්‍රේට් 160ට සීතල කරලා තියාගන්න වියදමක් යන නිසා වඩාත් කැමතියි ගත්ත ගමන් තෙල්වලට දෙන්න, ගත්ත ගමන් කර්මාන්තවලට දෙන්න, ගත්ත ගමන් ගෙවල්වලට එවන්න.

එහෙම කරන්න පුළුවන් නම් තමයි එය ලාභදායී වෙන්නේ.

ඒ නිසා අපි පෙබරවාරි මාසයේ තමයි ටෙන්ඩරය දාන්නේ. විදුලිබල මණ්ඩලයේ. හැබැයි 2019 නොවැම්බර් ඉඳන් ලංකාවේ මේ ව්‍යාපෘතිය ඇවිල්ලා කතා කරන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ඊට මාස 15කට පස්සේ දාන ටෙන්ඩරයට ඉදිරිපත් වෙන්නේ නෑ.

ඇයි? කවුරුහරි කියලා තියෙනවා උඹලා බය වෙන්න එපා මේකට එන්න ඕනෑ නෑ. ටෙන්ඩරය ගියොත් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. මේ අයගේ කොන්දේසිවලට වඩා ලංකාවට වාසි කොන්දේසි වෙන කෙනෙක් දැම්මොත්, නිව් ෆෝට්‍රස් එනර්ජිවලට නෙවෙයි වෙන කෙනෙකුට ලැබෙන්නේ.

උඹලා පැත්තකට වෙලා හිටපල්ලා. අපි උඹලාට මේ ටෙන්ඩරය ලබා දෙනවා කියලා කවුරුහරි පොරොන්දුවෙලා තියෙනවා. මේ ඉටුවෙලා තියෙන්නේ එම පොරොන්දුවයි. අපි දකිනවා ප්‍රශ්න ගණනාවක්.

ඉතාම කෙටියෙන්, අපි දකින බරපතළ ප්‍රශ්න 4ක් තියෙනවා. පළවැනි දේ මේකේ බරපතළ යහපාලනයේ අවපාලනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.

මිත්‍රවරුනි, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට. මම නැවත වතාවක් කියනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ටෙන්ඩරයකට සහභාගී නොවුණ සමාගමකට ටෙන්ඩරය ඇගයීමට ලක් කරමින් තිබියදී, ටෙන්ඩර්ගත ව්‍යාපෘතිය ලබා දෙන්නේ. අපි පට්ට පතුරු ගහපු, දූෂිතයි කියලා හංවඩු ගහපු ජේආර් යුගයේ, ප්‍රේමදාස යුගයේ, චන්ද්‍රිකා යුගයේ, රනිල් යුගයේ මෙහෙම දෙයක් වුණේ නෑ කියන එක කණගාටුවෙන් වුණත් සඳහන් කරන්න ඕනෑ. මේක තියෙන පළවැනි ප්‍රශ්නය.

දෙවැනි ප්‍රශ්නය, බලශක්ති සුරක්ෂිතතාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය. විදුලි බලාගාර මෙතැන ඉදි වෙනවා මෙගාවොට් 1685ක. එතකොට අනාගත විදුලි අවශ්‍යතාවයෙන් අනිවාර්යයෙන්ම තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක්.

ඒ කියන්නේ මේ ගෑස් සැපයෙන ඕනෑ මොහොතක අවදානමක්. දැන් චීනයේ ප්‍රාන්ත 20ක්, ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ අවදානම මතුවෙලා තියෙනවා, ලෙබනනයේ ගල් අඟුරු නැති නිසා රට අවදානමකට ගිහිල්ලා. මේ ඇමෙරිකානු සමාගමට පුළුවන්කම ලැබෙනවා ගෑස් සැපයීම පාලනය කරමින් ලංකාව අඳුරට යවනවාද, නැද්ද කියන එක තීරණය කරන්න.

ඔබට මතකයි රණවිරුවන්ට දඬුවම් කළේ නැත්නම් ආර්ථික සම්බාධක පනවනවා. කවුද කියන්නේ, ඇමෙරිකාව. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාවේ නැත්නම් ආර්ථික සම්බාධක පනවනවා. කවුද කියන්නේ, ඇමෙරිකාව. අන්න ඒ ඇමෙරිකාවට තමයි අනාගත ලංකාවේ විදුලියෙන් තුනෙන් එකකට වඩා නිපදවීමට ගෑස් සැපයීමේ ඒකාධිකාරය බාර දීලා තියෙන්නේ. දැන් රට අඳුරට දවස් දෙකතුනක් යවලා, වහාම රණවිරුවන්ට දඬුවම් කරපිය කීවොත් අපට මොකද වෙන්නේ. (ඇමතිවරයා කතාවේදී එහෙම කීවත් ඇමෙරිකාව කිසිම විටෙක ‘රණවිරුවන්ට දඬුවම් කරපිය’ කියා නැහැ.)

අර ෆෙඩරල් ව්‍යවස්ථාව අරන් එන්න කීවොත් අපට මොකද වෙන්නේ.

(ඇමතිවරයා එහෙම කීවත් ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන් දිරිගැන්වීම් කරලා තිබුණත්, කිසිම අවස්ථාවක ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න කියන්නේ නෑ. අනෙක ඇමෙරිකානු ආයෝජන සමාගම් චීන සමාගම් වාගේ ආණ්ඩුවට ඕනෑ විදියට විතරක් වැඩ කරන්නේ නැහැ. ඒ අනුව මේ රටට අහිතකර ගිවිසුම රටට අහිතකර වෙන විදිය ගැන කියද්දී ඇතැම් විටෙක රට නොමඟ යවනසුළු ප්‍රකාශ ඇමතිවරයා කරන බව සිහි තබා ගන්න.)

මෙන්න, මේක විදේශ රටකට යන එක භයානකයි. ලංකාවට බලපෑම් කරමින් සිටින ඇමෙරිකාවට යන එක ඊටත් වඩා භයානකයි කියන එක අපි ජනතාවට අනතුරු හැඟවීම රටට ආදරේ අයගේ පරම යුතුකමක් වෙනවා.

ඒ වගේම තුන්වැනි කාරණය. දැන් මං මේකෙදී  කිව්වා සදාකාලිකවම දුන්නා කියලා. කොහෙද ඕක තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් අහන්න පුළුවන්. හැමෝම කියන්නේ වසර පහයිනේ කියලා. ගිවිසුමේ 4(2) වගන්තියේ කියනවා. මේ ටෙන්ඩරයේ ගෑස් සැපයීමේ කාලය වසර 5ක් හෝ දැනට ක්‍රියාත්මක ටෙන්ඩරයේ සැපයුම්කරුවා ගෑස් සැපයීමට සූදානම් තත්වයට පැමිණීම කියන තත්වයන් දෙකෙන් පරක්කු වී සිදුවන දෙයින් උදාවෙන කාලයට තමයි මේ ටෙන්ඩරයේ ඔවුන්ට ගෑස් සැපයීමට බලය ලැබෙන්නේ කියලා.

දැන් මේ ක්‍රියාත්මක ටෙන්ඩරය අපි හැමෝම දන්නවා. මේ දෙකේම ටෙන්ඩරය ක්‍රියාත්මක වීමේ කාලය තියෙන්නේ මාස 18යි. මේ ටෙන්ඩර් දෙකේම ගෑස් නළ දෙකම හැදෙන්නේ එකම කාලේ. හැබැයි ඉතින් වසර 5ක් මේ අයට දෙනවා නම් අනෙක් එක්කෙනා ගෑස් නළය හදාගෙන වසර පහක් නිකම් බලාගෙන ඉන්න ඕනෑ. එහෙම කරන්න කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ.

මට නිල නොවන ලෙස ලැබිලා තියෙන තොරතුරු අනුව එම ආයෝජකයා දැනටම ප්‍රසම්පාදන කමිටුවලදී නිව් ෆෝට්‍රස් එනර්ජි ගිවිසුම ඉස්සරහට යනවා නම් අපි මේ වැඩේ කරලා වැඩක් නෑ. අපි එහෙනම් අකුළගෙන යනවා කියන එක ප්‍රකාශ කරලා හමාරයි. ඒ කියන්නේ අර දෙවැනි කොන්දේසියෙන් කියන, සැපයුම්කරුවා කියන කෙනා කවදාවත් එන්නේ නැත. එසේ නම්  සදාකල්ම ලංකාවට ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුමේ 4(2) වගන්තියෙන් ලබා දී අවසන්ය.

ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන කාලය තුරාවට ලංකාව පාලනය කිරීමේ යතුරත් ඇමෙරිකාවට බාර දීමක් මේ ගිවිසුමෙන් සිද්ධ වෙනවා කියන එක අපි පෙන්වලා දෙන්න ඕනෑ.

අපට එන අනෙක් ප්‍රශ්නය තමයි. දැන් අපි මන්නාරම් ද්‍රෝණියේ මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා ගෑස් නිධි විය හැකි ප්‍රමාණය ගන අඩි ත්‍රිලියන 9ක්. මහා විශාල ගෑස් ප්‍රමාණයක්. ගෑසුයි තෙලුයි දෙකම ගත්තාම ඩොලර් බිලියන 300ක් වටිනවා. කොහොමත් ඕකෙන් බාගයක් විතර තිබ්බේ ගෑස්. ඒ කියන්නේ ඩොලර් බිලියන 150ක් විතර වටිනා ගෑස් සම්පතක් මන්නාරම් ද්‍රෝණියේ තිබේ.

අනෙක් ද්‍රෝණිවල තියෙන සම්පත තවම අපි ගවේෂණය කරලා නෑ. හැබැයි මේක ගොඩගන්න ලංකාවේ ඉන්න ලොකුම ධනවතුන් එකතුවෙලා සබ්බ සකලමනාවම දැම්මත් ඒ ප්‍රමාණය මදි. ඊට වඩා ආයෝජනයක් ඕනෑ වෙනවා. ඒක ආයෝජනයට ඕනෑ කරන සල්ලි විතරක් නෙවෙයි. ඒ තාක්ෂණ දැනුමත් අපි ගාව නෑ.

ඒවා අරන් එන ආයෝජකයෙකුට ලංකාවෙන් එන්න නම් මේක මුහුද මැද ටිකක් දුෂ්කර වැඩක්. ලංකාවට එන්න නම් අඩුම ගාණේ ලංකාවේ වෙළඳපොළක් තිබිය යුතුයි. ලංකාවේ වෙළඳපොළේ ඒකාධිකාරය නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දුන්නොත්, නිව් ෆෝට්‍රස් එනර්ජි හැර වෙනත් කිසිවෙක් මෙතැන ගෑස් හාරන්න නම් එන්නේ නෑ.

ඒ කියන්නේ ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය විතරක් නෙවෙයි එක්කෝ අපේ ගෑස්, තෙල් ගොඩ දාලා රටම ගොඩ යන හීනය මේ ගිවිසුමක් නිසා අකුළගන්න සිද්ධ වෙනවා.

නැත්නම් නිව් ෆෝට්‍රස් ඉදිරියේ දණින් වැටිලා අනේ අපේ ගෑස් ටිකත් ගොඩ දාලා උඹලා ඉල්ලන ගාණකට අපි ගන්නම් කියලා ඉල්ලන්න සිද්ධ වෙනවා. ඉන්නේ එක්කෙනෙක් නම් එයාගේ කොන්දේසිවලට මිස අපේ කොන්දේසිවලට නම් වැඩේ කරන්න සිද්ධ වෙන්නේ නෑ.

තව මේ තාක්ෂණික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මිල සූත්‍රය ලංකාවට දැඩි ලෙස අවාසි විදියට ඇමෙරිකන්කාරයාට ලංකාවම හූරාගෙන කන්න පුලුවන් විදියට මිල සූත්‍රය හදලා තියෙන්නේ.

අනෙක් කාරණය තමයි රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නය. ජපානයට අපි පොරොන්දු වුණා මේක දෙනවා කියලා. ඉන්දියාවට පොරොන්දු වුණා දෙනවා කියලා. දකුණු කොරියාවට පොරොන්දු වුණා දෙනවා කියලා. තුනටම එකම දේ දෙන්න බැරි නිසා තමයි අපි විවෘත ටෙන්ඩරයකට ගියේ. දැන් මේ තෝරාගෙන තියෙන සමාගම චීන, පාකිස්ථාන හවුල් ව්‍යාපාරයක්.

චීනයයි පාකිස්ථානයයි කියන්නේ යුද්ධයේදීත් අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ලංකාවට යෝජනා එන විටත් කොන්දේසි විරහිතව ලංකාව එක්ක හිටගත්ත රටවල්  දෙකක්. අපි චීනයට, පාකිස්ථානයට ටෙන්ඩර් ක්‍රියාදාමය හරහා හිමි වුණ ව්‍යාපෘතිය ටෙන්ඩරයට පැමිණි නැති, අපට සතුරුකම් කළ, අපට සතුරුකම් කරන ඇමෙරිකාවට ලබා දුන්නාට පස්සේ මිතුරෝ අපට ඉතුරු වේවිද? මිතුරෝ හිතාවි යකෝ මුංට හතුරුකම් කළාම තමයි සලකන්නේ. මිතුරුකම් කළාට සලකන්නේ නෑ කියලා චීනයයි පාකිස්ථානයයි හිතුවොත් අපට ඒකට කරන්න දෙයක් නෑ.

ඒ නිසා මෙය සෑම අතින්ම ජාතික ආරක්ෂාවට, මව්බිමට තර්ජනයක් වෙන ව්‍යාපෘතියක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය පරාජය කිරීමට අපි හඬ නැගුවේ නැත්නම් අපේ ඇමතිධුර දරාගෙන කරන, කරන දේට යහපති කියාගෙන හිටියොත් අනාගත පරම්පරාව ශාප කරන්නේ අපිටයි.’