ෆොන්සේකා මහඇමතිකමට එනවාලු! තලතා, මනූෂ, නලින් මහඇමති අපේක්ෂකයන්ලු!

සමගි ජන බලවේගයෙන් ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයට මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව අරුණ පත්තරය වාර්තා කරලා.

ඒ වාර්තාව අනුව සරත් ෆොන්සේකා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති. මීට කලින් බස්නාහිර පළාත් සභා මහඇමති අපේක්ෂකයා විදියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ වැනි පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ ප්‍රකට හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ගැනත් ඇතැම් වාර්තා පළ වී තිබුණා.

ඊට අමතරව හිටපු කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙක් මෙන්ම ජනප්‍රිය මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වී මහ ඇමති අපේක්ෂකයන් වීමට නියමිත බව ඒ වාර්තාවේ තියෙනවා. සබරගමු පළාතට තලතා අතුකෝරාළ සහ උතුරුමැද පළාතට පී. හැරිසන් යන ඇමතිවරුන් එලෙස ඉදිරිපත් වීමට නියමිත බව අරුණ වාර්තාවේ සඳහන්. ඊට අමතරව මනූෂ නානායක්කාර දකුණු පළාතට, නලින් බණ්ඩාර වයඹ පළාතට, මයන්ත දිසානායක මධ්‍යම පළාතට ආදී වශයෙන් විවිධ නම් යෝජනා වී තිබෙනවාලු.

මේ අනුව සබරගමු පළාතට ඉදිරිපත් කළ හැකි ප්‍රබල අපේක්ෂකයෙකු වන 43 කණ්ඩායමේ කරු පරණවිතාන වැනි අයටත් මහඇමති අපේක්ෂකයන් වීමේ අවස්ථාව නොලැබෙනු ඇති.  

මේ ගැන අරුණ පත්තරයට යම් තහවුරු කිරීමක් කර තිබුණේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක.

මීට කලින් සමගි ජන බලවේගයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් මෙන්ම එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරද තහවුරු කර තිබුණා, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වී පළාත් සභා මහ ඇමති අපේක්ෂකයන් ලෙස තරග කරන්න ඉන්න බව. ඒත්, එහිදී අපට නිශ්චිත නම් තහවුරු කර ගන්නට බැරි වුණා.

කෙසේ වෙතත් ඇතැම් අය කියා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඉල්ලා අස් වනු ඇති බවත්, ඔහුගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ඔහුගේ නිත්‍යානුකූල බිරිඳ වන, වින්සන්ට් ඩයස් නම් බදුල්ලේ හිටපු එජාප ප්‍රබලයාගේ දියණිය පත් වනු ඇති බවත්.