කබ්රාල්ට කැබිනට් බලතල දීම ව්‍යවස්ථාවට පටහැනියි  – නීතීඥ සුදත් ජයසුන්දර

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ව්‍යවස්ථාවට පටහැණිව කැබිනට් බලතල දීම ව්‍යවස්ථාව විහිළුවක් බවට පත් කරන අනීතීක ක්‍රියාවක් බව නීතීඥ සුදත් ජයසුන්දර පවසා ඇත.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඔක්තෝබර් 28 දින පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මෙසේ පවසා තිබුණි.

‘මේ ආණ්ඩුව කොයි අන්තයට ගමන් කරනවාද කියා කියන්න බැහැ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කැබිනට් මණ්ඩලයට අනුරූපව ශ්‍රේණිගත කර එහි සාමාජිකයකු කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබෙනවා. 1948,1972, සහ 1978 යන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින් කැබිනට් මණ්ඩලය පත් කරන්නේ පාර්ලිිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්. නීතියේ ආධිපත්‍ය අනුව ඕනෑම පත්වීමක් නීතියට අනුව කළ යුතුයි. ව්‍යවස්ථාපිත නීතීය සහ ලොව පිළිගත් සදාචාරාත්මක මූලධර්මයන් අනුව නීතී පද්ධතිය අනුව පත්වීම් කළ යුතුයි. මහ බැංකු අධිපති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු කිරීම පළමු වතාවටයි සිදු වන්නේ. එහිදී නීතිය ගැන තැකීමක් කර නැහැ. විධායක ජනාධිපති වූ පමණින් ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න බැහැ. මෙතැනදී ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනවා. මෙම පත්වීම නීත්‍යානුකූල නැහැ.

මහ බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පත් වූ විට ඔහු වගවෙන්නේ කාටද? කැබිනට් මණ්ඩලය සාමූහික ලෙස පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. වගවීමක් නොමැතිව ස්වාධීනව කටයුතු කරන්න ලැබුණොත් අන්තනෝමතික ලෙස ක්‍රියා කළ හැකියි. පාර්ලිමේන්තුවට වග නොකියන අයෙක් අන්තනෝමතික ලෙස ක්‍රියා කළොත් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බැහැ. ඔහුට හිතුමතේට වැඩ කර රට අගාදයට ගෙන යන්න පුළුවන්.

කබ්රාල් මහතාගේ පසුබිම අප දන්නවා. ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කර ලොකු ප්‍රශ්නයක් ඇති කළා. සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළට ආයෝජනය කළා. ජාත්‍යන්තර මූල්‍ය කටයුතු, ප්‍රාග්ධන වෙළෙඳපොළේ කටයුතු, මහ බැංකු වාර්තාව පිළියෙල කිරීම, සිදු කරන්නේ ඔහුයි. අසීමිත බලයක් තිබෙනවා. කලින් ඒ කරුණු සිදු වුණේ මුදල් ඇමතිවරයා යටතේයි. ඔහු පාර්ලිමේන්තුවට වගවීමක් වුණා. මහ බැංකු අධිපතිවරයා වගවීමකින් තොරව කටයුතු කරන විට මුදල් ඇමතිවරයාට කළ හැක්කේ කුමක්ද? මුදල් ඇමති ධුරයට පත් කළේ මොළ හතක් ඇති අයෙක් බව කිව්වා. මහ බැංකු අධිපතිවරයාට කැබිනට් බලතල දීමෙන් මුදල් ඇමතිවරයාගෙන් වැඩක් නැති වෙනවා.’