යුගදනවි ගැන කතාවේදී ගෝඨා ලොකු බුලක් කෙළලා, විමල් පිළට තවත් එපා වෙලා

  • යුගදනවි ගැන කියා විමල්ලා ගෙන්වලා, ගෝඨා වෙන බයිලා කතා කරලා
  • බැසිල් රාජපක්ෂත් තමන් ගිවිසුම නොදැක්ක බව කීවාලු
  • ලංකාවේ ගෑස් ගොඩගන්න බැසිල්ට වුවමනාවක් නැහැ වගෙයි
  • ජනාධිපතිගේ හැසිරීම ගැන විමල් පිල අවුලෙන්
  • ඒත්, ජනාධිපතිට අභියෝගයක් නෑ

යුගදනවි බලාගාරය සහ ඒකට අදාල ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කරන්න කියලා ඔක්තෝබර් 28 වැනි බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ තිබුණ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ගැන කතා නොකර, ‘මම තමයි හොඳටම කළේ’ ටයිප් එකෙන් කතා කරන්න පටන් අරන්. ඒ පාර මැදිහත් වූ විමල් වීරවංශ අමාත්‍යවරයා යුගදනවි ගැන කතා කරමු කියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා.

මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කටයුතු කරපු විදිය ගැන විමල් පිළේ නායකයන් 30 වැනිදා තිබුණ මහජන සභාව අස්සේත් කතා කරපු බව ආරංචියි. ඇතැම් පක්ෂ නායකයන් මේ සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිවරයා ගැන තවත් විශ්වාසය දුර්වල කරගෙනලු ඉන්නේ. ඒත්, උපක්‍රමයක් විදියට විමල් පිළ බැසිල් රාජපක්ෂට මිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇටෑක් කරන්නේ නෑ.

යුගදනවි බලාගාරය පිළිබඳ ඔක්තෝබර් 29 වැනිදා මහජන සම්මන්ත්‍රණයක් පවත්වන බව විමල් වීරවංශ පිළ ප්‍රකාශ කළාට පස්සේ තමයි මේ කියන සාකච්ඡාව කැඳවන්න අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත් වෙලා තිබුණේ. මේ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ලෑස්ති කරගෙන.

මේකට විමල් පිළේ පක්ෂ නායකන් ඇතුළු පිරිසක් සහභාගී වෙලා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පොහොට්ටුවේ පිරිසකුත් හිටියාලු.

හවස 5.30ට තිබුණ මේකට සාකච්ඡාවට යන්න කලින් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ගෙදරදී ලෑස්ති වෙලා, මේ කට්ටිය ජනාධිපතිවරයාට කාරණේ පහදන්න සැලසුමකුත් හදලා. විමල් කැබිනට් එකේ වෙච්ච දේවල් ගැන කතා කරනවා, ගම්මන්පිල ගිවිසුමේ කාරණා ගැන කියනවා, රතන හිමි තව දේවල් ටිකක් කියනවා ආදී වශයෙන්.

ඒත් හොඳට සූදානම් වෙලා සාකච්ඡාවට ගිහින් බැලුවාම, ඒකේ කරුණු 14ක න්‍යායපත්‍රයේ 12 වැනි අංගය විදියටලු යුගදනවි කතාව දාගෙන තිබුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් පාලනය, එන්නත්කරණය, කාබනික ගොවිතැන, පුනර්ජනනීය බලශක්තිය වගේ එයා තමන්ගේ වැඩ කියලා හිතාගෙන ඉන්න සීමිත මාතෘකා ටිකක් ගැන කයිවාරුවක් පටන් ගන්නලු හැදුවේ.

රට ඇරියාම උද්ඝෝෂණ පටන් ගත්තොත් ආයේ කොවිඩ් වැඩිවේවී වගේ කතාන්දරත් කියන්න හැදුවාලු.

ඒත්, විමල් ඉල්ලුවාලු යුගදනවි ගැන කතා කරමු කියා. ඊට පස්සේ තමයි කතාව පටන් අරන් තිබුණේ.

ඒත් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු අයත් මේකට සම්බන්ධ වීමෙන් ජනාධිපතිවරයා එක්ක කතා කිරීමේ විමල් පිළේ වුවමනාව ඉටු වෙලා නෑ. මේකෙදී ජනාධිපතිවරයා ඈත් වෙලා ‘බැසිල් එක්ක කතා කරන්න වගේ’ කියලා තමයි ඉඟි කරලා තියෙන්නේ. එතකොට විමල් සහ ගම්මන්පිළ කීව දේවල්වලට බැසිල් රාජපක්ෂ උත්තර බැන්දාලු.

ගිවිසුම තාම හදලා ඉවර නෑ, නීතිපති එකෙන් කෙටුම්පත් කරනවා වගේ කතාවකුත් කියලා. ඔය කියන්නේ අර මහ රෑ අත්සන් කරපු එක නෙවෙයි, ගෑස් සැපයීමේ ඒකාධිකරය දෙන ගිවිසුම ගැන වෙන්න ඕනෑ. කොහොමරි ඒක තමන්වත් දැක්කේ නෑ කියලා බැසිල් රාජපක්ෂ කීවාලු.

උදය ගම්මන්පිළ ඇමතිවරයා දිගින් දිගටම කියන්නේ ලංකාවේ ගෑස් තියෙන කතාවනේ. ඒකට ප්‍රතිචාර විදියට බැසිල් රාජපක්ෂ කීවාලු ගම්මන්පිළ ඇමතිවරයා ගෑස් ගොඩගත්තාම ඒවා ආණ්ඩුවෙන් ගන්නම් වගේ. ඒ කියන්නේ ගෑස් ගොඩගැනීම ජාතික අවශ්‍යතාවක් නෙවෙයි, ගම්මන්පිළගේ පෞද්ගලික වැඩක් වගේ.

ඒ පාර ගම්මන්පිළ ඇමතිවරයා කීවාලු මේ ගිවිසුම නිසා ගෑස් ගොඩගන්න ආයෝජකයන් එන්නේ නැති බව.

බැසිල් ඒකට උත්තර විදියට කීවාලු ඔබතුමාට ගෑස් ගොඩගන්න බැරි එක මගේ පිට දාන්න එපා කියලා. ආයෙමත්, මතක් කළොත් ගෑස් තියෙනවා කියන තැන්වලින් ගොඩගැනීම ගම්මන්පිළගේ පෞද්ගලික වැඩක් වගේ. මේ සාකච්ඡාවේදී පැහැදිලිව පෙනිලා තියෙනවා ගෑස් ගොඩගැනීමේ උනන්දුවක් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාට නැති බව.

කොහොම නමුත්, මෙතැනදී පැහැදිලිව පෙනිලා තිබුණ අනෙක් වැඩේ තමයි සද්ද නැතිව හිටියත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් යුගදනවි වැඩේ පිටිපස්සේ ඉන්න බව. ඒත්, ඒ වෙනුවට විමල් වීරවංශලා දිගින් දිගටම කටයුතු කරන්නේ මේක හුදෙක් බැසිල් කරන වරදක් විතරක් වගෙයි.

මීට කලින් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් විමල් පිළ ඉල්ලුවාම, ජනාධිපතිවරයා බෑ කියලා තිබුණේ. ඊට පස්සේ ප්‍රසිද්ධ රැස්වීම්වලට  යුගදනවි එකට එළිපිට විරුද්ධ වෙන්න ගත්තාමයි, ආණ්ඩුවට දෙකොණ තද වුණේ.