ආනයන තහනම අස්සේ අලුත් වාහන 400ක්!

මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන 400කට ආසන ප්‍රමාණයක් රාජසන්තක කරනවාද නැද්ද? යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ 2020 වසරේ මාර්තු මාසයේ රජය මගින් ආනයන තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇණවුම් කර ඇති නිසා එය දැනට ක්‍රියාත්මක නීතියට පටහැනි බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී ඇත.

වරාය භුමියේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්නද සිල්වා පවසා ඇත. 

කොළඹ වරායයේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ ඒවා බව මාධ්‍ය වාර්තා කර ඇත.

මීට පෙර දී රජය සඳහන් කළේ තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි. මෙම වාහන වරාය භුමියේ විනාශ වෙමින් පවතින නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවද රේගුව පවසා ඇත.

 මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ වාහන සම්බන්ධ අවසන් තීරණය මුදල් අමාත්‍යංශය්‍ගත යුතුව ඇති බවයි.