රසායනික පළිබෝධනාශක ගෙන්වන්න හදයි

මෙවර මහ කන්නයට පමණක් වී වගාව වෙනුවෙන් රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසා ඇත.

පොහොර උපදේශන කමිටුව,කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බවත්  වී වගාව සහ වැවිලි භෝග සඳහා අවශ්‍ය රසායනික පළිබෝධනාශක ප්‍රමාණය දළ වශයෙන් නිශ්චිත කරගත් බවත් ඒ  මහතා පවසා ඇත.

මේ අනුව අඩු සැරකින් යුතු වල් නාශක, කෘමි නාශක සහ පළිබෝධනාශක යම් ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ ලබා දී ඇති බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව අරුණ පුවත්පත  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ගෙන් විමසීමක් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ  අවශ්‍යතාවයමත පදනම්ව සුළු ප්‍රමාණයක් පමණක් ගෙන්වීමට කටයුතු කරන බවය.

රටේ කාබනික වගාව කරගෙන යද්දී යම් විශාල හානියක් සිදුවුවහොත්,එය පාලනය කිරීමට ප්‍රයෝජනයට ගැනීමට මේ රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.