අබලි ද්‍රව්‍ය නොදුන් අධ්‍යක්ෂ ගෙදර යවයි

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කර්මාන්තකරුවන්ට ලබාදෙන අබලි ද්‍රව්‍ය එක්තරා දේශපාලන පක්ෂයක අධාරකරුවන් යැයි කියන පිරිසකට ලබාදීමට ඉහළින් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා එහි අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම් කිරීමේ සිදුවීමක් ‘ලංකාදීප’ය වාර්තා කර ඇත.

අබලි ද්‍රව්‍ය ලබාදීමේදී අදාළ පක්ෂයේ ආධාරකරුවන් යැයි කියන පිරිසට ක්‍රමවේදයට පිටින් තොග මුදාහැරීමට මෙම අධ්‍යක්ෂවරයාට බලපෑම් එල්ලවූවත් ඔහු ඊට අනුකූලතාව නොදැක්වීම මත මෙම තීරණය ගනු ලැබ ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවැසුවේ මූලික සුදුසුකම් නොමැතිව හිමිකම නොමැති තනතුරක පත්වීමක් දැරුවේ යැයි චෝදනාව මත මෙම වැඩ තහනම කර ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් කළ පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගනු ලැබී යැයි ද ඒ අනුව වැටුප් හා දීමනා නොගෙවන පරිදි මෙම වැඩ තහනම ක්‍රියාවට නැගෙන්නේ යැයි ද සභාපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාව සිටි සමයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පාස්කු ප්‍රහාරකයකුට අයත් තඹ කම්හලට අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලබාදී තිබුණේ ද මෙම නිලධාරියාගෙන් අදාළ රාජකාරිය වෙනත් අයකුට පැවරීමෙන් පසුවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේදී එම කරුණු සියල්ල අනාවරණය වූ අතර මෙවර ද නැවත උද්ගත වී තිබෙන්නේ ඊට සමාන තත්ත්වයකි.

පාස්කු ප්‍රහාරකයකුට අයත් තඹ කම්හලට මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලබාදීම තොරතුරු දැනගැනීමේ පනත හරහා පළමු වරට හෙළිකරනු ලැබුවේ ‘ලංකාදීප’ පුවත්පත විසිනි.

(බිඟුන් මේනක ගමගේ)