චීන සැක පොහොර නැවට සල්ලි දෙන්න එපා! තීරණාත්මක අධිකරණ තීන්දුවක් එයි?

චීනයෙන් පොහොර ගෙන්වන ෂිංග්ඩාඕ බයෝටෙක් ගෘප් සමාගම සහ එම සමාගමේ දේශීය නියෝජිත සමාගම වන චෙලීනා කැපිටල් කෝපරේෂන් වෙත මහජන බැංකුව හරහා නිකුත් කළ එල්සී හෙවත් ණයවර ලිපියට අදාල ගෙවීම තහනම් කරමින් රජයේ ආයතනයක් වන ලංකා පොහොර සමාගමට කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු ප්‍රියන්ත කේ ප්‍රනාන්දු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.

මේ වෙද්දී ලංකාවට බලෙන් ඒ පොහොර නැව පංගරාත්තු කරන්න දැවැන්ත දේශපාලන බලපෑම් පවතින පසුබිමක, මෙම තීන්දුව ඉතා වැදගත්.

අදාල සමාගම ලංකා පොහොර සමාගම අදාල පොහොර සමාගමෙන් පොහොර ලබාගැනීම සඳහා ගිවිසුම්වලට ඇතුළත් වී සිටියා. ඒ අනුව මුදල් ගෙවන්නේ නැහැ කියලා පැනලා යන්න ඒ සමාගමට හැකියාවක් තිබුණේත් නෑ. ඇයි? කොලිටිය බලන්න කලින් ගිවිසුමත් ගහලා ඉවරයිනේ!

ඒ ගිවිසුම් අනුව තමයි ෂිංග්ඩාඕ ඉඳන් පොහොර නැව පිටත් වුණේ. හැබැයි හරියට සාම්පල් චෙක් කරන්නත් කලින්.

ඊට පස්සේ නැව හරවලා යැව්වා කියලා කිව්වාට, බඩු මග එමින් තිබුණේ.

මේ ගැන ඔක්තෝබර් 23 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී ලිපියක් උපුටා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීවා.

‘මා ගාව තිබෙනවා, 2021 ඔක්තෝබර් 22 කිංග්ඩාඕ සමාගම (ඔහු ඒ විදියට කීවාට නිවැරදි උච්චාරණය ෂිංග්ඩාඕ) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපිය. ඔහුට පමණක් නෙවෙයි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉන්න චීන තානාපතිවරයා ඇතුළු කණ්ඩායම් ගණනාවකට මෙම පිටපත් යොමු කර තිබෙනවා.

මෙයින් කියන්නේ කුමක්ද? මෙම නැව සැප්තැම්බර් මාසයේ 23 පිටත් වූ බවත්, ඔක්තෝබර් මාසයේ 22 ඒ කියන්නේ ඊයේ වන විට කොළඹ වරායට ළඟා වන බවත් මෙම සමාගම විසින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබුණා. දැන් අපේ රටේ ශාක නිරෝධායන සේවයෙන් ප්‍රතික්ෂේප කරන ලද කාබනික, චීනයේ අහිතකර විනාශකාරී ක්ෂුද්‍ර ජීවීන් අඩංගු නැව කොළඹ වරායට ඊයේ (22) ළඟා වන බව මෙම සමාගම දැනුම් දුන්නා. මෙය බලහත්කාරී කඩා වැදීමක්. බලහත්කාරී ආක්‍රමණයක්.

මොකද, අපේ රටේ නීති පද්ධතිය අනුකූලව භාණ්ඩ ගේනවාද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ රටේ අධිකාරිය. එහෙම නැතිව චීන සමාගම් නෙවෙයි. ඔවුන් වැඩිදුරටත් කියනවා ශාක නිරෝධායන සේවයෙන් සාම්පල් පරීක්ෂා කිරීමේදී නිසි පරිදි සිදු වී නොමැති බව.

මතක තියාගන්න ඕනෑ, අපේ ශාක නිරෝධායන සේවයේ කාර්යභාරය පිළිබඳ වගකියන්නේ ශ්‍රී ලංකාවට මිසක්කා චීන සමාගම්වලට නොවන බව. ඇමතිවරුන් චීන සමාගම්වලට වගකියනවා. ජනාධිපතිවරුන් චීන සමාගම්වලට වග කියනවා. අපේ රටේ ශාක නිරෝධායන සේවය වගකියන්නේ අපේ රටේ ජනතාවට.

ඒ වගේම තුන්වැනි පාර්ශ්වයකින් පරීක්ෂා කරන්න එකඟතාවක් ආවාලු. ඒ කියන්නේ චීනයේත් නොවන, ලංකාවේත් නොවන වෙන පාර්ශ්වයකින් පරීක්ෂා කරන්න එකඟතාවක් ආවාලු.’