ඉටුකම කොවිඩ් අරමුදලේ සල්ලිවලට වෙච්ච දේ ගැන පාර්ලිමේන්තුවේ ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සරල ප්‍රශ්න ටිකක් ඇහුවාම, ආණ්ඩුව සති දෙකක් ඉල්ලමින් ඒක මඟහැරියා.
ප්‍රශ්නය අහලා තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂගෙන්. ඒත් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමයි සති දෙකක් කල් ඉල්ලුවේ. ඒකට ප්‍රතිචාර විදියට මයන්ත දිසානායක මහතා ඇහුවේ ප්‍රශ්නය අහලා අවුරුද්දක් වෙනවා, උත්තර දෙන්න බැරි ඇයි කියලා.
උත්තර විදියට අනෙක් පැත්තෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේ ආණ්ඩුවට ගොඩක් ප්‍රශ්න එනවා, ඒ නිසයි උත්තර දෙන්න පරක්කු වුණේ වගේ කතාවක්.
මයන්ත දිසානායක මන්ත්‍රීවරයා අසා තිබුණු ප්‍රශ්නය උත්තර නොදී පනින්න තරම් අමාරු ප්‍රශ්න නෙවෙයි. ඇත්තටම ප්‍රශ්නයක් ඇහුවත්, නැතත් ආණ්ඩුව විනිවිදභාවයෙන් යුතුව ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ දේවල් තමයි ඔහු ඇහුවේ.
සාක්කු පතුලට අත යවලා උත්තරේ හොය හොයා දඟලන්න බැරි එකක් නෙවෙයි. ඔහුගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ ඔක්තෝබර් 22 න්‍යායපත්‍රයේ තිබුණේ මෙහෙමයි.
‘ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල’ නමින් අරමුදලක් ආරම්භ කර ඇති බව එතුමා දන්නෙහිද?
එම අරමුදල ආරම්භ කිරීමේ අරමුණු කවරේද?
එම අරමුදල පාලනය කරනු ලබන ආයතනයේ නම කවරේද?
එම අරමුදල පාලනය කිරීම සඳහා රජයේ නිලධාරියෙකු පත් කර තිබේද?
එසේ නම් එම නිලධාරියාගේ නම සහ තනතුර කවරේද?
යන්න එතුමා දන්වන්නෙහිද?
ඉහත සඳහන් අරමුදලේ මේ වන විට පවතින ශේෂය කොපමණද?
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ඉහත සඳහන් අරමුදලෙන් ලබා දී ඇති ප්‍රතිලාභ කවරේද?
ඒ සඳහා වියදම් කර ඇති මුදල කොපමණද? යන්නත් එතුමා දන්වන්නෙහිද?
නොඑසේ නම් ඒ මන්ද?’