මෙහි එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඔක්තෝබර් 22 වැනිදා කරපු ප්‍රකාශය.
‘කෙරවළපිටිය යුගදනවි බලාගාරය, එයට අදාල ඉදිරීම් සහ සැපයුම් අයිතිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්වයට මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. කෙරවළපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ බරපතල සාකච්ඡාවක් නිර්මාණ්‍ය වී තිබෙනවා. බලාගාරයේ අයිතියත්, ඊට අදාල යටිතල පහසුකම් ඉදිකිරීම සහ ගෑස් සැපයීමේ අයිතිය ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබාදීම සඳහා ගිවිසුම් ගණනාවක් අතත්සන් කර ඇති බවට පසුගිය දිනවල වාර්තා වුණා.
විවිධ වර්ගයේ ගිවිසුම් මේ පිළිබඳ අත්සන් කරලා තියෙනවා.
ඒ අනුව කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ හිමිකාරීත්වය, එයට අයත් පාවෙන ගෑස් ගබඩා පර්යන්තය, ගෑස් සැපයුම් නළ පද්ධතිය ඉදි කිරීම එම ඇමෙරිකානු සමාගමට පැවරෙන බවට වාර්තා වුණා.
මෙම කෙරවළිපිටිය බලාගාරය සඳහා පාවෙන ගබඩා සංකීර්ණයක් සහ නැවත ගෑස් පිරවීමේ ඒකකයක් ඉදි කිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මගින්ද, ගෑස් නළ පද්ධතියක් ඉදි කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව මගින්ද මෙම වසර මුල ටෙන්ඩර් කැඳවීමක් සිදු කරනු ලැබ තිබුණා. එම ටෙන්ඩරයේ කාලය අවසන් වී තිබුණේ පසුගිය ජුනි මාසයේ. දැනගැනීමට ඇති පරිදි එම ටෙන්ඩරය වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක්, වෙනම ඇගයීම් කාර්යයක් ආරම්භ කර තිබුණා.
එසේ තිබියදී ඉදිකිරීම් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව මෙම ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ගරු කථානායකතුමනි, මීට පෙර මම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී කතා කළාම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේදී නිශ්චිත ලෙස ප්‍රකාශ කළා දැනට ටෙන්ඩර් කැඳවලා තිබෙන සමාගම් වෙත තමයි මේක ලබා දෙන්නේ කියලා. ඒක හැන්සාඩ්ගත වෙලා තියෙනවා.
පාර්ලිමේන්තුවේදී අදාල අමාත්‍යවරයා නළ පද්ධති ඉදි කිරීම් පිළිබඳවත් පාවෙන ගබඩා පර්යන්ත පිලිබඳවත් කැඳවා තිබෙන ටෙන්ඩර්වලට අනුරූපවන පරිදි එම සමාගම්වලට තමයි ලබා දෙන්නේ කියලා මේ පාර්ලිමේන්තුවේදී පහුගියදා ප්‍රකාශ කළා. මා ඇසූ ප්‍රශ්නයකට අනුව.
එසේම එම බලාගාරයට සහ එම ප්‍රදේශයේ ඉදිරි වන ඕනෑම එල්එන්ජී බලාගාරයකට ගෑස් සැපයීමේ අයිතිය වසර පහක කාලයකට මෙම ඇමෙරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ලංකාවේ විදුලි බල සැපයුමේ සැලකිය යුතු පංගුවක පාලනය මෙම නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමෙරිකානු සමාගම සතු වන අතර මෙම තත්වය රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාවද බරපතළ අවදානමකට ඇද දැමීමට ඉඩ තිබෙනවා.
මේ තත්වය කැබිනට් මණ්ඩලය අවස්ථා දෙකකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා දෙක මා සතුව තිබෙනවා. එක කැබිනට් පත්‍රිකාවක රාමුගත ගිවිසුමක් අමුණා තියෙනවා. ඊට අමතරව තවත් නිර්දේශයක් ඉල්ලා තිබෙනවා මීට අදාල වන පරිදි ගිවිසුම් අත්සන් කිරීමේ බලය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආටිගල මහතාට ලබා දී තිබෙන බව. ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලබා දී තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා විවිධ අවස්ථාවල විවිධ වර්ගයේ ගිවිසුම් අත්සන් කරපු බව මාධ්‍යවල වාර්තා වෙනවා. ඒ අනුව නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමේ වෙබ් අඩවියට ගියපුවාම ඔවුනුත් එම ගිවිසුම්වලට එළැඹුණු බව සඳහන් කොට තිබෙනවා.
මගේ ප්‍රශ්නය,
නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කර ඇති හෝ අත්සන් කිරීමට නියමිත ගිවිසුම්වලට අනුව කෙරවළපිටිය විදුලි බලාගාරයේ සීයට 40ක අයිතියත්, ගබඩා සහ නළ පද්ධතිය ඉදි කිරීමත්, වසර පහකට ගෑස් සැපයීමත් එම සමාගමට පැවරීමට බලාපොරොත්තු වන්නේද?
මොකද, ටෙන්ඩර් කැඳවා තිබුණේ නළ පද්ධතිය ඉදි කිරීමට සහ ගෑස් පර්යන්තය ඉදි කිරීමට. නමුත් අපට ලැබී තිබෙන වාර්තා අනුව කෙරවළපිටිය බලාගාරයෙන් සීයට 40කුත්, නළ පද්ධතිය ඉදි කිරීමත්, ඒ වගේම අවුරුදු පහක ගෑස් පැවරීමේ බලයත් මෙම සමාගමට ලබාදෙන බව තමයි සඳහන් වී තිබෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒකද මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ. මූලික හරය.
ගබඩා පර්යන්තය ඉදි කිරීමට සහ නළ පද්ධතිය ඉදි කිරීමට පිළිවෙලින් විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබියදී ටෙන්ඩර් ඉදිරිපත් නොකරන ලද මෙවැනි සමාගමකට ලබා දීමට කටයුතු කරන්නේ ඇයි?
මොකද, ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා, ඔබතුමා දන්නවා ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් විශාල බුක් එකක් හෙවත් ලියවිල්ලක් හැදුවා පිටු දහස් ගණනක. මොකද, මේක විදුලිබල මණ්ඩලයට අලුත් අත්දැකීමක් නිසා. ඒ මත තමයි මේ ටෙන්ඩරය කැඳවනු ලැබූවේ. ඒ ටෙන්ඩරය ඉදිරිපත් කළාට පසුව ඒ සමාගම්වලට ලබා දීම පිළිබඳ දැන් ඇගයීමට ලක් කරමින් තිබෙනවා.
කරමින් තිබියදී තමයි දැන් කැබිනට් පත්‍රිකාවෙන් මෙම ටෙන්ඩරය ඉදිරිපත් නොකරන ලද සමාගමට ලබා දෙන්නේ. ලබා දෙනකොට කථානායකතුමනි මේ ඉදිරිපත් කිරීම සාධාරණීකරණය කරන්න කියනවා මේ ටෙන්ඩරය ඉදිරිපත් වෙලා තියෙන මිල ගණන්වලට මේකේ මිල ගණන් අඩුයි කියලා. හැබැයි ඔබතුමාත් දන්නවා කාලාන්තරයක් අමාත්‍යධුරයක් දරපු අමාත්‍යවරයෙක් විදියට, ටෙන්ඩරයක් අවසන් වන තෙක් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කොහොමද දැනගන්නේ ඒකේ තිබුණ මිල ගණන්.
එහෙම දැනගන්න විදියක් නෑ. ටෙන්ඩරය අවසන් කරලා ප්‍රදානය කරපුවාම තමයි මිල ගණන් දැනගන්න ඕනෑ. හැබැයි දැන් ටෙන්ඩරයේ ඇගයීම් කටයුතු තිබියදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා ටෙන්ඩර්වලින් ඇවිල්ලා තිබෙන ගාණට වඩා මේ ඉදිකිරීම් දෙකේ ගාණ අඩුයි කියලා. කොහොමද එහෙම කරන්නේ. එහෙම නම් ලංකාවේ මෙතෙක් සිට ටෙන්ඩර් පටිපාටිය වැඩක් නෑ. ටෙන්ඩර්වලට ඉල්ලනවා, යටින් තොරතුරු ගන්නවා, කීයක් හරි අඩු කරලා කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගන්නවා.
එම නිසා මෙම ටෙන්ඩර් පටිපාටියටවත් ඉදිරිපත් නොවුණු මෙම සමාගම වෙත මෙම ඉදිකිරීම් දෙක ලබා දෙන්න කටයුතු කරන්නේ ඇයි.
ඊළඟට ද්‍රවිකෘත ස්වභාවික ගෑස් හෙවත් එල්එන්ජී වසර පහක කාලයකට එම සමාගමට පැවරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? දැන් මේ බලාගාරය දැනට ඩීසල්වලින් දුවනවා. එල්එන්ජී බවට කන්වර්ට් කරන්න තියෙනවා. කැලණිතිස්ස බලාගාරයත් එල්එන්ජීවලට කන්වර්ට් කරන බව කියනවා. ඒ වගේම ඒ ආශ්‍රිතව තව මෙගාවොට් 350ක සුභදනවි බලාගාරයත් හැදෙනවා. ඒකත් එල්එන්ජී.
මේ කලාපයේ හැදෙන හැම එල්එන්ජී බලාගාරයකටම අවුරුදු පහකට ගෑස් සැපයීමේ ඒකාධිකාරය මේ සමාගමට දෙනවා. ගරු කථානායකතුමනි එහෙම කරන්නේ කොහොමද? අපට ගෑස් අවශ්‍ය නම් ඒ ඒ වෙලාවට අවශ්‍ය මොහොතේ ටෙන්ඩර් කැඳවා ලබා ගන්න පුළුවන්. අවුරුදු පහකට කෙරවළපිටිය යුගදනවි බලාගාරයට පමණක් නෙවෙයි, ඒ ආශ්‍රිතව තියෙන ඕනෑම බලාගාරයකට ගෑස් සැපයීමේ අධිකාරීත්වයක් මේ සමාගමට ලබා දෙනවා.
එහෙම කරන්නේ ඇයි කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ඉහත ගනුදෙනුවල සමස්ත මූල්‍ය වටිනාකම තක්සේරු කරනු ලැබ තිබේද? ඒ කොපමණද?
මොකද මේකේ මූලික වටිනාකම කොච්චරද? මොකද මේකේ මූලික වටිනාකම කොච්චරද?
ඒ කියන්නේ කෙරවළපිටිය බලාගාරයෙන් සීයට 40ක්, නළ පද්ධති ඉදි කිරීම, ගබඩා පර්යන්තය, අවුරුදු පහක ගෑස් සැපයීම, මේ සියල්ලේම එකතුව කීයද? කොච්චර ව්‍යාපෘතියක්ද?
දැන් අපි දන්නවා, හම්බන්තොට වරායේ ගරු කථානායකතුමනි උපරිම ව්‍යාපෘතියේ වියදම ගියේ බිලියන 1.3යි. ඒක තමයි මෙතෙක් ලංකාවේ තනි ඒකකයක් හැටියට වැඩිම වියදම දරලා තියෙන්නේ. මම දැනගන්න කැමතියි දැන් මෙම ව්‍යාපෘතියේ සමස්ත තක්සේරුව කොච්චරද?
ගෑස් නළ පද්ධතියත්, ගබඩා පර්යන්තයත්, කෙරවළටිය බලාගාරයේ සීයට 40ත්, ගෑස් සැපයීම අවුරුදු පහකත් තක්සේරු කරලා තියෙනවාද?
අපි තක්සේරු කරනවා ඩොලර් බිලියන 5ක් කියලා. ඒ අනුව ලංකාවේ මෙතෙක් විශාලතම ව්‍යාපෘතිය මේක. විශාලම මිලදී ගැනීම හෝ ගනුදෙනුව මේක. දෙන්න යනවා නම් තක්සේරුව කියන්නකෝ මේ පහේ?
කෙරවළිපිටිය බලාගාරයේම මූල්‍ය වටිනාකම තක්සේරු කරනු ලැබ තිබේද? එය කොපමණද?
මොකද සීයට 40ක් ලබා දෙන්න ගිවිසුම අත්සන් කරනවා නම් ඒ සීයට 40 වටිනාකම තීරණය කළේ කොහොමද? ඒ නිසා කෙරවළපිටිය බලාගාරයේ නියමිත වටිනාකම තක්සේරු කරලා තියෙනවා? ඒ තක්සේරුවට අනුරූප වන පරිදි සීයට 40 අගය කොපමණද කියලා දැනගන්න කැමතියි.
ඉහත කරුණුවලට අදාලව නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ ගිවිසුමක් හෝ ගිවිසුම් කිහිපයක් අත්සන් කරනු ලැබ තිබේද? මොකද අපි ගාව තියෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කාලරාමු ගිවිසුම විතරයි. මම හිතන්නේ කැබිනට් ඇමතිවරුන් ගාව තියෙන්නේත් ඒක විතරයි. මොකද කැබිනට් ඇමතිවරුන්ට වෙන එකක් ආවොත් අපටත් එනවා.
තේරුණාද දන්නෑ (සිනාසෙයි) වෙන එකක් නෑ මං දන්න විදියට.
හැබැයි එහෙම නම්, නිරන්තරයෙන් වාර්තා වෙනවා විවිධ ගිවිසුම් අත්සන් කරපු බව. නේද? ඔබතුමාම දන්නවා එදා මධ්‍යම රාත්‍රී 12.06ට ගිවිසුමක් අත්සන් කළා ආටිගල මහත්තයා. රෑ තිස්සේ නිදිමරාගෙන වැඩ. ආටිගල මහත්තයා. හොඳයි. හැබැයි ඒ ගිවිසුම් මොනවාද? අත්සන් කර තිබේ නම්, එම ගිවිසුම හෝ ගිවිසුම් මොනවාද? ඒවා සභාගත කිරීමට කටයුතු කරන්නේද? සභාගත නොකරන්නේ නම් ඊට හේතු කවරේද?
මොකද මේ රටේ ජාතික සම්පතක් පැවරීම පිළිබඳව, අනාගතයේ මිලදී ගැනීම පිළිබඳව ගිවිසුමක් අත්සන් කර තිබේ නම් එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මොකද මේක කාගේවත් පෞද්ගලික දේපළ පවරා දීමක් නෙවෙයි.
මොකද, අපි සරල විදියට කීවොත් මැදමුලනේ ඉඩම් විකිණීමක් නෙවෙයිනේ. එහෙම නම් තමන් තමන් අතරේ බේරාගන්න පුළුවන්. බ්‍රෝකර් කෙනෙක් දාලා බේරා ගන්න පුළුවන්. හැබැයි මේක ජාතික සම්පතක්, ජාතික සම්පතක් පවරා දීමට සැලසුම් කරනවා නම් ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලම ගනුදෙනුව කියලා මා විශ්වාස කරනවා. ඩොලර් බිලියන 5ක ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවට අදාල ගිවිසුම් කවරේද? ඒවා සභාගත කරන්නේද කියලා දැනගන්න කැමතියි.
මීට අදාලව අත්සන් තබන ලද ගිවිසුම්වලින්, අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ කවර ගිවිසුම්ද? අඩුම තරමේ මේ ගිවිසුම් අත්සන් කරන්න කලින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාද? ඉදිරිපත් කළා නම් කවර ගිවිසුම්ද කියලා දැනගන්න ඕනෑ.
මොකද අපට ඇවිල්ලා තියෙන කැබිනට් පත්‍රිකාවල එහෙම ගිවිසුම් නෑ. ඒ නිසා අඩුම තරමේ කැබිනට් මණ්ඩලය දන්නේත් නෑ කියලා අපි නම් හිතන්නේ. අපි පාර්ලිමේන්තුව දැනගන්න ඕනෑ මේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ කවර ගිවිසුම්ද කියලා. අත්සන් කිරීමෙන් පසුවවත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාද?
එක්කෝ අත්සන් කිරීමට පෙර ඉදිරිපත් කළේ මොනවාද? අත්සන් කිරීමෙන් පසු ඉදිරිපත් කළේ මොනවාද කියලා මේ සභාවට ඉදිරිපත් කරන්න. මීට අදාලව අත්සන් කිරීමට පෙර හෝ පසු හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලද ගිවිසුම් තිබේද? ඒ හැර වෙන ගිවිසුම් තිබේද?
එක්කෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අත්සන් කරලාද? එක්කෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර අත්සන් කරලාද? අත්සන් කළාට පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලාද? කියලා දැනගන්න කැමතියි.
අවසන් වශයෙන් කියන්නේ, මෙය අපේ රටේ මෑත කාලයේ සිදු වන විශාලතම ගනුදෙනුව. මේක අන්ත දූෂිත ගනුදෙනුවක් බවට හෙළිවෙමින් තියෙනවා. ඒක මගේ තර්කය. හැබැයි මේ දූෂිත නොවන ගනුදෙනුවක් කියලා ඔබ කියනවා නම්, අද මේ ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.’