බොරු ප්‍රවෘත්ති කප්පිත්තා ට්‍රම්ප්ගෙන් ෆේස්බුක්, ට්විටර් අඩවිවලට අභියෝගයක! අලුත් සමාජ මාධ්‍යයක්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘත් සෝෂල් නමින් අලුත් සමාජ මාධ්‍ය පිටුවක් පටන් අරන්. ඒ ෆේස්බුක්, ට්විටර් වැනි වෙබ් අඩවිවලට අභියෝගයක් කරන්න හිතාගෙන.

ඇඟට පතට නොදැනී සමාජ මාධ්‍යවල බොරු කීමට ප්‍රසිද්ධ කෙනෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භ කරන සමාජ මාධ්‍ය අඩවියක් ‘ඇත්ත’ යන වචනයෙන් පටන්ගැනී තරම් උත්ප්‍රාසජනක විහිළුවක් නෑ.

https://truthsocial.com/ කියන මේ වෙබ් අඩවිය තවමත් නිල වශයෙන් එළිදක්වා නෑ. ඒත්, වෙබ් අඩවියට ගියොත් ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇප් එක පූර්ව ඇණවුමක් කරන්න පුළුවන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයෙක් විතරක් නෙවෙයි, ඔහු ප්‍රකෝටිපති ධනවතෙක්. ඒ නිසා මෙවැනි ව්‍යාපෘතියකට මුදල් යෙදවීමේ හැකියාව ඔහුට තියෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන රටම කැළඹා අරාජික කරන්න ඉඩ තියෙන (සැලකිය යුතු කැළඹීමක් කරපු) ව්‍යාජ තොරතුරු හුවමාරු කරද්දී ඔහුගේ ගිණුම් ට්විටර්, ෆේස්බුක් ගිණුම් අවලංගු කළා. එවැනි පසුබිමක දැන් ඔවුන් තර්ක කරන්නේ ‘දේශපාලන මතවාදවලට’ භේදයක් නැතිව අදහස් පළ කරන්න ට්‍රම්ප්ගේ අලුත් අඩවියේ ඉඩ ලැබෙන බව. ඔවුන් තර්ක කළේ ට්‍රම්ප්ගේ ‘අදහස්’ ෆේස්බුක් වැනි අඩවිවලින් සීමා කරපු බව. ඒත් ඇත්තටම සීමා කළේ ට්‍රම්ප්ගේ වැරදි කරුණු මිසක් අදහස් නෙවෙයි.