ලොහාන්ට නොතීසි! රැඳවියන්ගේ ආරක්ෂාවට ප්‍රශ්ණයක්! 

  • නිසි විමරශණයක් කරන්න
  • පොලිස්පතිට නියෝගයක්
  • වහාම වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ රාත්‍රීයේදී  අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී රැඳවියන් දණගස්සවා, ගිනිඅවියක් ඔවුන්ගේ හිසට තබා ගිනිඅවි පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබාගෙන නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර ඇත.

ඔක්තෝබර් 21 වන දින මෙම නියෝගය නිකුත් කර ඇත.

රත්වත්ත මහතා තර්ජනයට ලක් කළ බව කියන අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කර තිබුණි.

අදාල පෙත්සම ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.

පෙත්සම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ව අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත්කොට වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවරගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

තවද මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා ගොනුකිරීමට පියවරගන්නා ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත නොතිසි නිකුත් කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාගාර නීති රෙගුලාසිවලට අනුව බන්ධනාගාර නිලධාරියෙකුට පවා ගිනිඅවි සහිතව බන්ධනාගාරය තුළට ඇතුළුවීම තහනම් බවත් එසේ ගිනිඅවි බන්ධනාගාරය තුළට රැගෙන යාමට නම් ඒ සඳහා නිසි නීතිමය පටිපාටිය අනුගමනය කළ යුතු බවත් පවසා තිබුණි.

එවැනි නීතිමය පසුබිමක් තිබියදී විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්තේ සිය ගිනිඅවිය ද රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළුවී එහි සිටි පෙත්සම්කාර රැඳවියන්ට තර්ජනයකිරීම බරපතළ වරදක් බවත් සුමන්තිරන් මහතා පවසා තිබුණි.

තවද එම සිද්ධියට මුහුණ දුන්  සිරකරුවන්ගේ ඥාතීන් වෙත තමා කනගාටුව පළ කරන බව වගඋත්තරකරුවෙකු වන අධිකරණ අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ බවත් ඒ මහතා පවසා තිබුණි.

ඒ අනුව, තම සේවාදායකයින්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී තිබෙන හෙයින් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත් කොට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඕනෑම බන්ධනාගාරයක රඳවාතබන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණේ පෙත්සම්කරුවන් අතරෙන් දෙදෙනෙකු කොළඹ  බන්ධනාගාරය වෙත මාරුවී යාමට කැමැත්ත පළකර ඇති බවය.

කෙසේවෙතත් ආරක්ෂක හේතූන් මත එම සැකකරුවන් යාපනය බන්ධනාගාරය වෙත මාරු නොකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර ඇති බවත් එම සැකකරුවන් වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රැඳවියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එය පෙබරවාරි මස 15 වනදා යළි කැඳවීමට ද නියෝග කර ඇත.