සපුගස්කන්ද තෙල් පිරිපහදුවට නොවැම්බර් 11 වැනිදා ඉඳන් මාසයක කාලයක් බොරතෙල් නොලැබීමේ අවදානමක් තියෙනවාලු.

මේ ගැන වාණිජ කර්මාන්ත සහ ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර කියා තිබුණා.

පිහිපහදුවේ දැනට තියෙන බොරතෙල් ප්‍රමාණවත් වෙන්නේ නොවැම්බර් 11 වැනිදා දක්වා පමණක් බව වෘත්තිය සමිති පෙන්වා දෙනවාලු. බොර තෙල් නැවක් මෙරටට එන්න නියමිතව තියෙන්නේ දෙසැම්බර් 14 වැනිදාලු.

ඇත්තටම රටේ ඉන්ධන අර්බුදයක් තියෙන බවත්, කොච්චර උත්සාහ කළත් ඉස්සරහා දිනවලදී ඒක පැහැදිලිවම හෙළිවේවිලු. මේ බව කියා තිබුණේ වෘත්තිය සමිති.

ඉදිරියේදී එන දවස්වල ප්‍රමාණවත් තරම් බොරතෙල් නැති වීමෙන් සපුගස්කන්ද පිරිපහදුවේ වේගය සීමා කරලා තියෙන බව වෘත්තිය සමිති කියා තිබුණා.

මේ ගැන අරුණ පත්තරය සපුගස්කන්ද පිරිපහදු කළමණාකරුගෙන් අහලා තිබුණා. ඒත්, ඔහු කියා තිබුණේ දින දහයක් තිස්සේ තමන් නිවාඩු අරන් ඉන්න නිසා මේ ගැන දන්නේ නැහැ කියලා.

කොහොම වුණත් එන්න තිබුණ කොළොන්නාවේ ඩීසල් සහ පෙට්‍රල් අවසන් වෙලා කියලා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අසෝක රන්වල කියා තිබුණා. මුතුරාජවෙල ගබඩාවේ තියෙන්නේත් පෙට්‍රල් විතරක් කියලා ඔහු වැඩිදුරටත් කියලා. බොරතෙල් ධාරිතාවත් උපරිමයෙන් අඩු වෙලා කීවා.

දැන් රටේ තියෙන්නේ ඉන්ධන පිරවුම්හල්වලයි ඩිපෝවලයි තියෙන ඉන්ධන ප්‍රමාණය විතරක් කියලාත් ඔහු කියා තිබුණා. කොහොම වුණත්, ඉන්දියන් ඔයිල් සමාගමට මේ ප්‍රශ්නයට මුහුණපාන්න වෙන්නේ නැති බවත් ඒ පුවතේ සඳහන්.

ඩොලර්වලට මාරු කරන්න බැරි වුණ හින්දා සංස්ථාවේ රුපියල්වලින් මුදල් ඉතිරිවෙලා තියෙනවාලු. සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට දැවැන්ත ණය කන්දරාවක් වෙලා තියෙන හින්දා ඩොලර්වලින් ණය ගන්න බැරි බවත් ඔහු පෙන්වලා තියෙනවා. අනෙක් පැත්තෙන් සංස්ථාවට ලබාදෙන්න භාණ්ඩාගාරයේත් සල්ලි නැහැලු.

මේ ගැන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් ඇහුවාම කියලා තියෙනවා ඉන්ධන නැවක් එන්න තිබුණා 21 වැනිදා, ඒක කලින්ම ආවා කියලා. ඒ කියන්නේ 20 වැනිදා නැවක් ආවා කියලා. තෙල්වල ප්‍රශ්නයක් නෑ කියලත් ඔහු කියලා. කොහොම වුණත් වෘත්තිය සමිති පැත්තෙන් කියන්නේ වෙනස් කතාවක්.