අලුත් මන්ත්‍රීවරුන් ගොඩක් ගිනිඅවිය අරන් නැහැ

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන්  අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැති බව ලංකාදීපය වාර්තා කර ඇත.

මේ ආකාරයෙන් ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද වන බවත් වාර්තා කර ඇත.

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  අසූවකට අධිකය.

මෙයින්  ගිනි අවිය ලබාගෙන  නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකට වැඩි යැයිද වාර්තා කර ඇත.

මෙම අලුත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ගේ ආරක්ෂාව සඳහා ලබාදෙන එම ගිනි අවියට වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට නැති බවත් ලංකාදීපය වාර්තා කර ඇත.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා   ආරක්ෂක අමාත්‍යාංශය මෙම ගිනි අවිය නිකුත්  කරනු ලැබේ. පාර්ලිමේන්තු ලේකම්වරයා විසින් ඔහු හෝ ඇය මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරියක බවට සහතික  කරනු ලැබීමෙන් පසුව එම  අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කරනු ලබයි.

මේ අතර පාර්ලිමේන්තුවේ කාලයක් සිටි පැරණි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇති බවත් වාර්තා කර ඇත.