පාර්ලිමේන්තුවේදී 2021-10-21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කළ කතාව.
‘2021-09-24 වැනිදා මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ලැබුණා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ නොතීසියක් යොමු කරලා තිබුණා මට ඇවිල්ලා මේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරකිරීමේ ප්‍රජා පවිත්‍රතා අමාත්‍යාංශයේ සිදුවූයේයැයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන්න කියලා.
එම නොතීසියට අවනත වෙමින් 09-24 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. නොතීසිය එව්වේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මැතිතුමා.
විශාල මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රචාරය කලා මම මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය වෙලා ඉන්න කාලේ රුපියල් මිලියන 150ක මුදල් අවභාවිතයක් කළාය, ප්‍රචාරක වැඩ කටයුත්තකට කියලා. නමුත් ඒ නොතිසියේ තිබුණේ රුපියල් මිලියන 75 ක ප්‍රචාරණ වැඩ කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න.
මගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි. ඒ තමයි හිටපු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් එවපු ලිපියකට අනුකූලව අදාල අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලා ඒ ලිපියෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් මම අපේ ලේකම්තුමා ඇතුළු ඒ කාලයේ හිටපු නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු කණ්ඩායම් එක්ක කණ්ඩායම් රැස්වීමේ මූලාසනය දැරුවාද කියලා. මම කිව්වා ඔව් කියලා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අපි හැමදාම කළමණාකරණ රැස්වීම් පැවතැ්වුවා.
හැබැයි සාකච්ඡාව දිගට යනකොට ඒ නිලධාරීන් ප්‍රකාශ කළා, මගේ දූරකථන ඇමතුම්වලට සවන් දී තිබෙන බව 2018 සහ 2019. ඒක මම ඉතාමත් පැහැදිලිව කියනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වැනි වගන්තියට අනුව එවැනි විමර්ශනයක යෙදෙන පොලිස් නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ගන්න ඕනෑ දූරකථන ඇමතුම් සම්බන්ධයෙන්.
මම ඇහුවා එවැනි අවසරයක් ගත්තාද, මහේස්ත්‍රාත්වරයාගෙන් මගේ දූරකථනවලට සවන් දෙන්න කියලා. ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තනේතුවේ අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ විසින් එම ඇමතුම් තමන්ට ලබා දුන් බව. එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණේ නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ප්‍රකාශයේ ඒ බවත් මම සඳහන් කළා. ගරු කතානායකතුමනි, ඒ අනුව මම කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මගේ පුද්ගලිකත්වයට ඇති අයිතිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මා භුක්ති විඳින වරප්‍රසාද හා බලතල නීතිවිරෝධීව උල්ලංඝනය කරලා තියෙන බව.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ දෙවැනි වගන්තිය මගින්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද දැක්වෙන එහි හත්වැනි වගන්තියට අනුව අපට මේ අපේ වරප්‍රසාදයන්ට අමතරව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදත් සතු වන බව ප්‍රකාශ කරන්න කැමතියි. මන්ත්‍රීවරයෙකු සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුළ බලාත්මක වන සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 19 වැනි වගන්තිය සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශසීමා සහ මායිම් තුළ නොපිහිටා තොරතුරු හා අදහස් සොයා යෑම, ලබා ගැනීම හා බෙදාහැරීමේ නිදහස, තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයන් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි.
ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දූරකථනය එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවෙලමක්. ඒ තුළින් මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන තමන් සතු වරප්‍රසාදී තොරතුරක්.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝනය කරලා තියෙන බව මගේ හැඟීමයි. නිසි අධිකරණ නියෝගයකින් තොරව මගේ අතීත දූරකථන ඇමතුම්වලට අදාල දත්ත මගේ දූරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදාහැරීම මගින් අදාල සේවා සැපයුම්කරුවන්ද මගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මගේ හැඟීමයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු වරප්‍රසාද කඩකිරීමට අදාල විධිවිධාන පනතේ 22(2) වැනි වගන්තිය මගින් ප්‍රතිපාදනය කරලා තියෙනවා මා කියා සිටින්නේ ඉහත පනතේ ආ පරිච්ඡේදයට අදාල වරදක් බවයි මේක. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාල දූරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවා මූලික පරීක්ෂණයක් සිදු කරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම එකී මූලික පරීක්ෂණයෙන් අනතුරුව 22 (2) වැනි වගන්තියට අනුව වරප්‍රසාද පනතේ ආ පරිච්ඡේදයට සඳහන් කර ඇති වරදක් සිදු කර ඇති බව බැලූ බැල්මට පෙනී යන්නේ නම්, පනතේ 23 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිදු කරන ලද විමසීමකින් දඬුවම් කළ හැකි වරදක් බවත් මා මේ අවස්ථාවේ ඔබතුමාට සිහිපත් කරනවා.
පනතේ 25 වැනි වගන්තිය මගින් සලසා ඇති ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම සඳහා ගරු කතානායකතුමා විසින් නීතිපතිවරයාගේ වාර්තාවක් කතානායකවරයා වෙත කැඳවන මෙන්ද, එසේ කැඳවන වාර්තාව සභාගත කරන මෙන්ද, එම වාර්තාව පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ සිදු කරන යෝජනා සම්මතයක් මගින් පනතේ 23 වැනි වගන්තිය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද මෙනයින් මම ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමනි.
එමෙන්ම මා විශේෂ දෙයක් කියනවා. මේ දූරකථන සංවාදය සිදු කරලා තියෙන්නේ වට්ස්ඇප් මගින්. අපි කවුරුත් දන්නවා වට්ස්ඇප් තාක්ෂණය මගින්. අපි කවුරුත් දන්නවා වට්ස්ඇප් තාක්ෂණය ගැන. මේවා එන්ඩ් ටු එන්ඩ් එන්ක්‍රිප්ටඩ් කියලා කියනවා. ඒක යන්නේ දත්තයක් හැටියට. ඩේටා එකක් හැටියට. මම අසවලාට කතා කළා කියලා වට්ස්ඇප් පණිවිඩයකින් හොයාගන්න අපි දන්න තොරතුරු තාක්ෂණ දත්ත පද්ධති ඇතුළේ නම් කරන්න බෑ. එකම ක්‍රමය වට්ස්ඇප් පණිවිඩවලට ඇහුම්කන් දෙන්න ලබාදුන්නේ කවුදැයි කියන එක සම්බන්ධයෙන් වෙච්ච යම් සුවිශේෂී තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබුණොත් පමණයි.
අපි දන්නවා මේ පසුගිය කාලයේ ලෝකයේ ප්‍රධාන පෙළේ පිරිස් ප්‍රංශයේ ජනාධිපති මැක්‍රෝන්, ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මෙවැනි අයගේ පවා වට්ස්ඇප් පණිවිඩවලට ඒ ඒ රජයන්වල හෝ වෙනත් විදේශ රජයන්වල අය ඇහුම්කන්දීලා තියෙන බව. මම බොහෝ පැහැදිලිව කියනවා ඊශ්‍රායලයේ පෙගසස් නමින් නිර්මාණය කරන ලද තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව සතුව තියෙනවාද? එසේ නැත්නම් වට්ස්ඇප් ඇමතුමක් පිළිබඳ ඔවුන් දැනගත්තේ කෙසේද කියන එක ගැනත් පරීක්ෂණ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම පොලීසිය භාර ඇමතිතුමා ඉන්නවා, අධිකරණය භාර ඇමතිතුමා ඉන්නවා. මම එතුමන්ලාගෙන්ද මේ ඉල්ලීම කරනවා.’