මහ බැංකුව එළියට දමා තිබුණු අලුත්ම දත්ත අනුව ජනවාරි-අගෝස්තු කාලයේ මේ අවුරද්දේ වෙළඳ හිඟය ෙඩොලර් බිලියන 5.5ක සීමාව පසු කර තිබුණා.
ඒ කියන්නේ ලංකාවට භාණ්ඩ ගෙන්වන්න යන වියදමත්, ලංකාවෙන් බඩු යවලා ලැබූ ආදායමත් අතර පරතරය. ආනයනවලට යන වියදම අපනයනවලින් ලබන ආදායමට වඩා ඩොලර් බිලියන 5.5ක් වැඩියි. ඒ තරම් ලංකාවේ සල්ලි පිටරට යනවා.
ලංකාවට අදාලව නම් අපනයන වැඩිපුර කරලා අපි සල්ලි උපයන්නේ ඇමෙරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් නිසාත්, ආනයන වැඩිපුර කරලා අපේ සල්ලි යවන්නේ චීනයට නිසාත් මේකේ සැලකිය යුතු පංගුවක් චීනෙට යවපු සල්ලි සහ බටහිර රටවලින් උපයපු සල්ලි ගැන කතන්දරයක්.
ගිය අවුරුද්දේ පළවැනි මාස අටේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 3.8ක්. ඒ කියන්නේ ඔය කියන කාලසීමාවත් වඩා වැඩිපුර ආනයන-අපනයන පරතරය මේ අවුරුද්දේ පළවැනි මාස අටේ වැඩියි.
කොහොම වුණත් මේකට හේතුව අපනයනවලින්, ඒ කියන්නේ භාණ්ඩ පිටරට යවලා ලබපු ආදායම අඩු වෙච්ච හින්දා නෙවෙයි. ඒ ප්‍රමාණය 2020ට වඩා වැඩි වෙලා. සීයට 22.6කින්. ඒ කියන්නේ ඩොලර් බිලියන 7.9ක්. කොටින්ම කීවොත් අගෝස්තු මාසය කියන්නේ පිට පිට තුන්වැනි වතාවටත් ඩොලර් බිලියන 1කට වඩා අපනයනය කරලා සල්ලි හොයපු මාසයක්.
ඒත්, ආනයන කරන්න යන අපි ලංකාවෙන් යවපු සල්ලි ප්‍රමාණය ඊටත් වඩා ප්‍රතිශතයකින් වැඩි වෙලා. සීයට 31කින්. ඩොලර් බිලියන 13.4ක්.
අගෝස්තු මාසයේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 586ක්. කලින් අවුරුද්දේ අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 342යි.
අප්‍රේල් මාසයේ ඉඳන්ම හැම මාසයක් ගාණේ ආනයනවලට යන වියදම ඩොලර් බිලියන 1.6ක විතර ප්‍රමාණයේ තියෙන්නේ. ඒ කියන්නේ සීමා දැම්මාට අඩුවක් වෙලා නැහැ.
එතකොට වැඩිපුර අපනයනය කරලා තියෙන්නේ මොනවාද කියලා බැලීමත් වැදගත්නේ. පළවැනි මාස අටේ ඩොලර් මිලියන 704.7ක ඉන්ධන ආනයනය කරලා. මිලියන 498ක යන්ත්‍රෝපකරණ ආනයනය කරලා, මිලියන 252.6ක ඇඟලුම්වලට අදාල දේවල් ආනයනය කරලා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමත් 2020 අගෝස්තු එක්ක බැලුවොත් 2021 වෙද්දී සීයට 12.3කින් වැඩි වෙලා. ප්‍රධාන වශයෙන් පරිප්පු, ලූණු,කිරිපිටි, හාල්මැස්සන් සහ කරවල, මිරිස් ආදී දේවල් ආනයනය කරලා තියෙනවා.
කෑම නොවන වෙන පරිභෝජන භාණ්ඩවල ආනයන වියදම සීයට 67.5කින් ගිය අවුරුද්ද එක්ක බැලුවොත් වැඩිවෙලා තියෙනවා. හැබැයි මේකට හේතුව බව කියන්නේ එන්නත් ආනයනය කිරීම.
ඇත්තටම ඉස්සරට වඩා ආනයන වියදම අඩු බව විශේෂයෙන් පෙන්වන්න තියෙන්නේ පොහොර තමයි. ඒකට වෙච්ච හදිය දන්නවානේ.
ඒ ගැන අතුරු කතාවකුත් තියෙනවා. මේ දත්ත අනුව නම් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන කරලා ලැබූ ආදායම වැඩි වෙලයි තියෙන්නේ. ඒත්, මේ විදියට ගියොත් ඒ අපනයන ආදායමත් වැටෙයි. මොකද, පොහොර ආනයනය කියන්නේ අපට පාඩු ලැබෙන වැඩක් නෙවෙයි. ඒ වගේ දහ ගුණයක් කෘෂිකාර්මික අපනයනවලින් හොයනවා. ගිය අවුරුද්දේ පොහොර ආනයනයට මිලියන දෙසිය ගාණක් වියදම් වෙද්දී, කෘෂිකාර්මික අපනයනවලින් මිලියන දෙදාස් ගාණක් හෙව්වා. ඉතින් පොහොර ආනයනය වගේ එකක් නැවැත්වීමෙන් ලංකාවේ තියෙන අපනයන ආදායමත් අඩු වෙන්න ඉඩ තියෙනවා.
ගොඩක් අය හිතන්නේ මේකට උත්තරේ කන බොන එක පවා අපි ආනයනය කරනවා, ඒක නවත්තලා හැම මගුලක්ම ලංකාවේ හදන එක තමයි කියලා. ඒත්, ඕක තමයි වැරදි අදහස. ලංකාවේ දැන් සිද්ධවෙන්නේත් ඒකනේ. ලංකාවේම හදපන් කියලා ආනයන සීමා කරනවා. කහ ටික පවා ආනයනය නැවැත්තුවානේ.
ඒත්, ඇත්තටම සිද්ධ වෙන්න ඕනෑ ආනයනය නැවැත්වීම වෙනුවට අපනයන වැඩි කිරීම. තියෙන අපනයන නිෂ්පාදන දියුණු කරන එක වගේම, අලුත් මාර්ග සොයා යෑම. විශේෂයෙන් බාල කම්කරු ශ්‍රමය සපයන රටක් නොවී අපේ මිනිසුන්ගේ මොළගෙඩි ටික තියුණු කරලා, දැනුමින් පිරිච්ච ඉහළ මුදලක් උපයන ශ්‍රම සම්පතක් හැදීම. මෙහෙන් පිටරට යවන කම්කරුවන් දහයකට වඩා එක විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් අපට වටිනවා. සමහරවිට මෙහෙන් පිටරට නොගිහින් ලංකාවේ ඉඳන් ජාත්‍යන්තර මාකට් එකට නව නිෂ්පාදන කරන මිනිසුන් වටිනවා.