කංසා පර්යේෂකය ආචාර්යවරයා පොලීසියෙන් කුදලං යයි!

ශ්‍රී ලංකාවේ පැරණි ශිෂ්ඨාචාර තුළ මෙරට ජනතාව කංසා භෝගය ඇසුරෙන් කරන ලද විවිධ නිෂ්පාදන ගැනත්, කංසා තහනම් කිරීමේ පසුබිම ගැනත් අධ්‍යන සිදුකළ පර්යේෂකයෙකු වන ආචාර්ය වසන්ත සේන වැලිංඅංග කංසා වගා කළේයැයි චෝදනා කරමින් තණමල්විල පොලීසියෙන් ඔක්තෝබර් 20 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් සජීවිව විකාශය කර තිබුණා. ඔහු වවා තිබුණු කංසා ගස් කිහිපයක් පොලිස් නිලධාරීන් රැගෙන යන අයුරු එම අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාල වීඩියෝවල තිබුණා.

ඔහුගේ නිවසේ තිබුණු කංසා වගාවට නිත්‍යානුකූල අවසරයක් තිබේදැයි පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් ඔහු සැප්තැම්බර්  07 දිනැතිව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට යොමු කළ ලිපියකින් ඉල්ලා තිබුණේ පර්යේෂණාත්මක කංසා වගාවක් සඳහා අවසර ලබා දෙන ලෙස. එම ලිපියේදී ඔහු පෙන්වා දී තිබුණේ 1961 දී කංසා අන්තරාදායක ද්‍රව්‍යයක් ලෙස හැඳින්වුවත්, 2020 දෙසැම්බරයේදී එය ඉවත් කොට ඖෂධීය ගුණ සහිත නිෂ්පාදනයක් ලෙස එය හඳුනාගෙන ඇති බව ඔහු ලිපියේදී පෙන්වා දී තිබුණා.

අවසර ලැබී නැති නම් ලංකාවේ ලිඛිත නීතිය අනුව ඔහු වරදක් කර තිබෙනවා. එහෙත් ප්‍රායෝගිකව තමන්ගේ ක්‍රියාව විවෘතව සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා දැනුම් දී පර්යේෂකයෙකු ලෙස ඔහු කළ ක්‍රියාවට අනුව තාර්කිකව කල්පනා කළොත් කුමන පියවරක් ගත යුතුද කියා අපටත් හිතාගත නොහැකියි.

අනෙක් අතට ඔහු සැඟවී පර්යේෂණ කළ කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ පර්යේෂණ කටයුතු පිළිබඳ රටම දැන සිටි අතර රජයේ ආයතන එයට පිළිගැනීමක්ද ලබා දී තිබුණා. වරක් ඔහු පාර්ලිමේන්තුවට ගොස් එහි සාමාජිකයන්ට තමන්ගේ කෘතිය ඉදිරිපත් කරමින්, කංසා නීතිගත කිරීමේ වැදගත්කම පැහැදිලි කර තිබුණා. ඊට අමතරව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිව පවා මුණගැසී ඒ පිළිබඳ කතාබහ කර තිබුණා. ඊට අමතරව මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලින් ඔහුගේ සම්මුඛ සාකච්ඡා පවා ලබාගෙන තිබෙනවා.

වසන්ත සේන වැලිඅංග මහතා කංසාවලින් සිදු කළ හැකි නිෂ්පාදන පිළිබඳ, ඖෂධ වර්ග පිළිබඳ, ජාත්‍යන්තර වශයෙන් කංසා අපනයනයෙන් ලැබිය හැකි ආර්ථික වාසි පිළිබඳ පර්යේෂණාත්මකව කරුණු ඉදිරිපත් කළ අයෙක්. ඔහු ඒ මත පර්යේෂණාත්මක කෘති දෙකක් පළ කළා.