රටේ ඉන්න ඕනෑ එක නායකයයි! ආණ්ඩුවකට තියෙන්න ඕනෑ එක මතයයි! පීබී කියයි..

රටට, ජනතාවට වැරැදි දේ කර අවුරුදු පහක් බලයේ සිටිනවාට වඩා හරි දේ කර හෙට ගෙදර යෑම උසස් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරන බවත් රටක සිටිය යුත්තේ එක් නායකයෙකු බවත් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ඔක්තෝබර් 19 දින  ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කර්තෘවරුන් හමුවූ අවස්ථාවේදීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පවසා තිබුණි.

‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු දෑ ක්‍රියාවේ යෙදවීමට තිබියදී පැමිණි කොවිඩ් 19 වසංගතය හමුවේ බොහෝ එල්ලයන්, ඉලක්කයන් වෙනස් වූණා. ජනතාව වෙනුවෙන් කළ යුතු වූ හදිසි කාර්යභාරය වූයේ රටේ ජනතාව එන්නත්කරණයට ලක් කිරීමයි. එය හදිසි කාර්යභාරයක්. කොවිඩ් 19 මුල් රැල්ල අපිට අලුත් අත්දැකීම් එක් කළ අවස්ථාවක් වූ අතර, ඉන් පසුව පැමිණි 2 වැනි රැල්ල තුළ මේ රටේ ආර්ථිකය ඇතුළු සියලු අංශ බලවත් කඩා වැටීමකට ලක් වූණා.’

කොවිඩ් රැල්ල ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමටත් පෙර ‘කොවිඩ් කාර්ය සාධක බළකායක්’ පිහිටුවා එයට සූදානම් වූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එයට සාර්ථකව මුහුණ දුන් අයුරින් අනතුරුව පැමිණි කොවිඩ් රැලිවලට මුහුණ දීමේදී විවිධ බාධක, දුෂ්කරතා අපමණවත් පැන නැඟුණ බවත්, රටේ ආර්ථිකයට වැදුණු මරු පහරත් සමඟ ඉදිරියට යෑමට අලුත් උපක්‍රම, ක්‍රමවේද සොයා ගත යුතුයි’

‘විවිධ අඩුපාඩු, විවිධ දුෂ්කරතා මැද වුවත් ජනතාව මේ වසංගතයෙන් බේරා ගැනීමට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා නිවැරැදි දැක්මක් අනුව කටයුතු කළ නිසා අද ලෝකයේ එන්නත්කරණයේ හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවට ඒමට හැකි වීම අප රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක්’

‘ඒ සඳහා ආණ්ඩුවක් ලෙස අප එන්නත්කරණයට ඩොලර් මිලියන 650කට වැඩි මුදලක් වැය කලා. කොරෝනා වසංගතයෙන් වැටුණු රට ගොඩනැඟීමට අප අලුත් ක්‍රමවේද, උපක්‍රම සොයා ඒ ඔස්සේ රට ගමන් කර විය යුතු බවද, ඒ සඳහා කථාව අඩු කර ක්‍රියාවන් වැඩි කළ යුතුයි. රටක මතයක් ප්‍රකාශ කළ යුත්තේ එක් නායකයෙක් පමණක්යි.’

‘ලෝකයේ ඕනෑම රටක ආණ්ඩුවේ මතය එක මතයක් විය යුතුයි. එය ප්‍රකාශ කරන්නේ එක් පුද්ගලයකු පමණක් වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු කථා කරන නමුත් අඩුවෙන්ම කථා කරන්නේ ජනාධිපතිවරයා විතරයි. ජනාධිපතිවරයා වැඩියෙන් කථා නොකළාට වැඩියෙන්ම වැඩ කරනවා. එතුමා එතුමාගේ ඉලක්කයට අවශ්‍ය වෙලාවට ගමන් කරන කරනවා.’

‘සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළ විශේෂයෙන් රටේ බලශක්ති ප්‍රභවයන් පුනර්ජනනීය බලශක්ති ඔස්සේ වැඩි කළ යුතුයි. එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක නොකළොත් තෙල් මත යැපෙන රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට ගමනක් යා හැකිද යන්න ප්‍රශ්නක්. ගෙන්වනු ලබන තෙල්වලින් 30%ක් විදුලිය නිපදවීමට වැය කිරීමත්, ඉතිරි 70% වාහන ධාවනයට යෙදවීමත් මත අපට හෙටක් ගැන සිතිය හැකිද යන්න ප්‍රශ්නක්.’

‘එම නිසා ඉතා ඉක්මනින් අප පුනර්ජනනීය බලශක්තිවලට යොමුවිය යුතු බවද, මුළු අවුරුද්දේ දින 365ම අව්ව වැටෙන රටක් ලෙස අප ඉක්මන් තීරණයක් ගත යුතුයි. 

‘ශ්‍රී ලංකාව කාබනික පොහොරවලින් ස්වයංපෝෂිත රටක් කිරීම ජනාධිපතිවරයාගේ එකම අරමුණයි.  ඒ යහපත් අරමුණ කරා යෑමේදී විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තියෙනවා.’